අතුරුදහන් වූ වී

අද (07) දින පෙරවරුවේ වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා විසින් රජයට අයත් වී ගබඩා 04 කින් වී කිලෝග්‍රෑම් 971,050ක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනයේ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත බාරදී තිබේ.

වාර්තා වන ආකාරයට මෙම සිදුවීම 2021-22 වර්ෂවලදී සිදුවී ඇති අතර ඒ සම්බන්ධව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතාට උපදෙස් දී තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, ආණමඩුව, නිකවැරටිය හා මහව වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 04ක වී ‌තොග අතුරුදන්වීම සම්බන්ධයෙන් මෙලෙස තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව පසුගිය කාලය තුළ සිදුකළ විමර්ශනය තුළින් එකී ගබඩා 04හි වී කිලෝග්‍රෑම් 971,050 අතුරුදන් වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම වී තොගයෙහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 100කට ආසන්න වෙයි.

මෙම වංචාවට චෝදනා ලැබූ නිලධාරින් 05 දෙනෙකුගේ වැඩතහනම් කිරීමට මේ වනවිට පියවරගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ප්‍රකාශ කර තිබේ.

මෙම අපරාධයට සම්බන්ධවී ඇත්තේ වැඩතහනමට ලක්වී සිටින නිලධාරීන් පමණක්ද හා තවත් පුද්ගලයින් හෝ පුද්ගල ජාලයක් ඊට සම්බන්ධවී ඇත්දැයි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති බව තවදුරටත් වාර්තා වේ.

Exit mobile version