සංඝ ප්‍රජාව අතර ප්‍රඥාවෙන් අග්‍ර වූ ද, අග්‍ර ශ්‍රාවකයන්ගෙන් පළමු වැනි වූ ද, සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තමාගේ ජීවිත කාලයෙහි අවසානය ලඟා වෙමින් තිබුණු බව තේරුම් ගත් කල්හි, අවසන් වරට බුදුන් වහන්සේ දැක, තම ජාත භූමිය වූ නාලක නම් බමුණු ගම වෙත ගොස් තමාගේ මෑණියන් මිත්‍යාදෘෂ්ඨියෙන් මුදවා ඉන් පසු එහිදී පිරිනිවන් පෑම සඳහා අවසර ඉල්ලා සිටියහ.
බුදුන් වහන්සේගේ අනුදැන්ම සහිතව සිය මෑණියන් වූ සාරි නම් බ්‍රාහ්මණ මාතාවගේ නිවස කරා සැපත් වූ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඇය නිවැරදි මාර්ගයට යොමු කරමින් පැවැත් වූ ධර්ම දේශණය අවසානයේ දී ඇය සෝවාන් තත්වයට එළඹීමෙන් පසුව උන් වහන්සේ – සිය අභිප්‍රාය පරිදි තමා උපන් නිවසෙහි, එය සිදු වූ සයනය මතම පිරිනිවන් පෑවේ අද වැනි ඉල්පුර පසළොස්වක පොහෝ දිනක හිරු උදාවන්නට ආසන්නව තිබියදී බව ශාසණ ඉතිහාසයේ දැක්වේ.
මාධ්‍ය කාර්යාංශය, ශ්‍රී දළදා මාලිගාව