අද කොවිඩ් මර්දන කමිටු රැස්වීමේ දී ගත් තීරණ.

නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් මස  13 වන දා අළුයම 04.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ අද (03) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීය.

පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු සාකච්ඡාවට එක්වෙමින් කොවිඩ් මර්දනය සඳහා ගෙන ඇති පියවර පිළිබඳව කරුනු ඉදිරිපත් කළ අතර වැඩි අවධානයක් යොමුව තිබුණේ වයස අවුරුදු 20 – 29 වයස් කාණ්ඩ සඳහා ඉදිරි සති දෙකක කාලය අතරතුර එන්නත්කරණය සිදුකර අවසන් කිරීමේ අවශ්‍යතාවය කෙරෙහිය.

මෙම සාකච්ඡාවේ දී වයස අවුරුදු 30ට වැඩි පිරිස් සඳහා එන්නත්කරණය සිදුකිරීමේ දී එය දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදු කෙරුණු අතර එය සාර්ථක කරගැනීමට සහයදුන් සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු සියලු පාර්ශවයන්ට ජනාධිපතිතුමා විසින් ප්‍රශංසාව පළකෙරුණි.

වෛද්‍ය අනුමැතිය ලද වහාම නියමිත වයස් කාණ්ඩවල සිටින පාසල් සිසුන්ට ද “ ෆයිසර් එන්නත” ලබා දීමට හැකියාව ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් සඳහන් කළේ දෛනිකව 400-450 ත් අතර මධ්‍යස්ථාන සංඛ්‍යාවකදී එන්නත්කරණය සිදු කරන බවත් එම අදාළ මධ්‍යස්ථාන වෙත ලබා දෙන එන්නත් ප්‍රමාණය සෞඛ්‍ය අංශවල නිර්දේශයන්ට අනුව තීරණය කරන බවත්ය.

මෙම සාකච්ඡාව තුළදී ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එන්නත්කරණයෙන් අ් කරගත් සාර්ථකත්වය සමග නව සාමාන්‍යකරණ ක්‍රමවේදයට අනුගතවෙමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ නිරෝධායන ඇඳිරි නීතිය රට තුළ ක්‍රියාත්මක වුව ද එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වය මත අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත අඛන්ඩව පවත්වාගෙන යාමට හැකිවීම ආර්ථිකය ලද විශාල අස්වැසිල්ලක් වූ බව යි.   

Exit mobile version