අද සිට පාසල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

සියලුම සිසුන් පාසල් වෙත කැඳවා අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම අද (10) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

එම තීරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන ලද බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පසුගිය කාලවකවානුව තුළ දී පාසල් සිසුන් අදියර වශයෙන් පාසලට ගෙන්වීමට කටයුතු කරන ලදී.

එසේ අදියර වශයෙන් ආරම්භ කරන ලද පාසල් අද දිනයේ සිට සියලුම සිසුන් ගෙන්වා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී.

කෙසේ නමුත් පාසල් ආපන ශාලා තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

Exit mobile version