ජීවිතේට ලංකාවෙන් යන්න හිතපු නැති හුඟක් යාළුවො, සමීපව හිටපු අය ලංකාවෙන් යන බව දිනපතා ම වගේ කතා කරලා කියනවා. තවත් සමහරුන් යන බව දන්නේ ලංකාවට සමුදීලා පිටරට යන්න කලින් එයාපෝට් එකේ ගත්ත ෆොටෝ ෆේස්බුක් එකේ දැම්මමයි. එහෙම කවදාවත් යන්න හිටපු නැති අය ලංකාවෙන් යන බව දකින කොට කිසියම් අඳුරු හැඟීමක්, මුස්පේන්තු, පාළු හැඟීමක් දැනෙනවා. නැවත කවදා ඔවුන් දකින්න, හම්බ වෙන්න, මුණගැහිලා කතා කරන්න පුළුවන් වෙයිද කියලා හිතෙනවා.
ඉස්සර මම එයාපෝට් එකේ කාලය ගත කරන්න ආසයි. Departure Terminal එකේ වගේ ම Arrival Terminal එකේදීත් හම්බ වෙන මිනිස්සුන්ගේ හැඟීම් කියවන්න මම ගොඩක් ආසා කළා. එයාපෝට් එකේ Arrival Terminal එක හරිම ලස්සන තැනක්. කාලයක් තිස්සේ වෙන් වෙලා හිටපු ආදරය කරන අය එතනදී එකට එකතු වෙනවා. එහෙම එකතු වෙන පළමුවෙනි මොහොත හරි ම සුන්දරයි. එහෙම වෙලාවට ඒ අය එකිනෙකාට ආදරය ප්‍රකාශ කරගන්න විදිය, වැළඳගන්න විදිය සුන්දරයි.
ලංකාවෙන් ගිය කෙනෙක් කාලයකට පස්සෙ ලංකාවට එනකොට ඒ අයට මෙහෙ හුළඟත් එක්ක මුසු වුණු ආශ්වාදයක් දැනෙනවා. නොස්ටැල්ජියාවක් දැනෙනවා. හුරුපුරුදු බවක් දැනෙනවා. එයාපෝට් එකේ දී මේවා මිනිස්සුන්ගෙ මුහුණුවල සියුම්ව සටහන් වෙන විදිය බලාගෙන ඉන්න මම කැමැතියි.Departure එකේ තත්ත්වය ඊට වඩා ටිකක් සංකීර්ණයි. එතැනදී ආදරය කරන එය එකිනෙකාට සමුදෙනවා. සමහර අය තමන් ආදරය කරන අයට සමුදීලා, පිටත් කරලා හිස් අතින් ආපහු ගෙදර එනවා. රටින් පිටවන අයගෙ මුහුණුවලත් ශෝකයක් රැඳිලා තිබුණත් එයට උඩින් අලුත් බලාපොරොත්තු, අලුත් වගකීම් ලියවිලා තියෙනවා. අලුත් ජිවිතයක් පිළිබඳ අපේක්ෂා ඔවුන්ට තිබුණා. සමහර වෙලාවට මේ බලාපොරොත්තු ආදරයට වඩා බලවත්. ආදරයට ම විතරක් ජීවිතය පෝෂණය කරන්න බැරි නිසා සමහර වෙලාවට ආදරය කරන අයට තාවකාලික විරාමයක් දෙන්න මිනිස්සුන්ට සිද්ධ වෙනවා. ඒත් මේ කාලයේ රට යන හුඟක් දෙනෙක් රට යන්නේ එහෙම අලුත් ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තු පොදි ගහගෙන නෙවෙයි. ඔවුන්ට තියෙන්නේ අනතුරකින් පළා යනවා වගේ හැඟීමක්.
යාන්තමින් හෝ කාලා ඇඳලා ජීවත් වීම, දරුවන්ට ඉගැන්වීම,කීයක් හරි හම්බ කරගැනීම පිළිබඳ Desperation එකක්. කරන්න වෙන කිසිම දෙයක් ඉතුරු නොවුණට පස්සේ, ‘වෙන දෙයක් වෙද්දෙන්’ කියලා හිතාගෙන කරන බලාපොරොත්තු විරහිත තෝරාගැනීමක්.. මේ Desperation එක නිසා ආදරය කරන අයගෙන් ඈත් වෙලා වෙන රටක පදිංචියට යන එක ඉතා ම වේදනාත්මක අත්දැකීමක් බව මම දන්නවා. ඒක ඇතුළේ තියෙන්නේ ජීවිතය පරදුවට තියලා පාළු කාන්තාරයකින් පිටවෙන්න පාරක් හොයනවා වගේ හැඟීමක්.
මම සාමාන්‍යයෙන් හැඟීම්බර මනුස්සයෙක් නෙවෙයි. මම හැඟීම් එක්ක දේශපාලනය පටලවාගන්න කැමතිත් නැහැ. ඒත් සමහර දේවල් තේරුම් ගන්න පුළුවන් හැඟීම්වලින් විතරයි. මිනිස්සුන්ට මිනිස්සු විදියට ආත්ම ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරගන්න උත්සාහ කරන එක බැලූ බැල්මට බුද්ධිමත් වැඩක් නොවෙන්න පුළුවන්. “මේක කවදාවත් ගොඩගන්න බැරි රටක්” කියලා එක පාරට කෙනෙකුට හිතෙන්න පුළුවන්. සමහරවිට කෙනෙකු එහෙම කියනකොට ඒකට තාර්කික උත්තරයක් දෙන්නත් අමාරුයි.
ඇත්තට ම අපි මේ ඉන්නේ හැඟීම්බර සිහිනයක විතරක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි මේ දුවන්නේ මිරිඟුවක් පස්සේ වෙන්න පුළුවන්. ඒත් ජීවිතේ සමහර තැන්වල හැඟීම්වලට ඉඩ දෙනවා මිසක් කරන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙන්නෙ නැහැ. ඒ නිසා කොච්චර අමාරු වුණත් වඩා යහපත් රටක් පිළිබඳ හැඟීම්බර සිහිනය අත්හරින්න එපා. ලංකාවේ කොතැන ජීවත් වුණත්, ලෝකයේ කොතැන ජීවත් වුණත් ඒ හැඟීම්බර සිහිනයට තමන් ඇතුළේ ඡායා මාත්‍රයක් විදියට හරි ජීවත් වෙන්න ඉඩ දෙන්න.
-රසික ජයකොඩි 09 – 01 – 2023 (උපුටා ගැනීමකි)