අන්තවාදයට තව තවත් ඉඩ ලැබෙයි ද?(වීඩියෝ)

පාකිස්ථානයේ දී ශ්‍රී ලාංකික පුද්ගලයෙක් ඉතා අමානුෂික ලෙස මරා ගිනිතබා තිබූ පුවතක් මේ වන විට ලොව පුරා අවධානය දිනා ගැනීමට සමත් වී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා මාධ්‍යවේ දී චමුදිත සමරවික්‍රම මහතා විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මොහොමඩ් හෆීස් මාසෝ මහතා සම්බන්ධ කරගනිමින් සාකච්ඡාවක් පවත්වා ඇත.

එහි දී බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන මෙම මහතා පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාව සම්පූර්ණයෙන් ම ආගම මුල් කරගත් අන්තවාදී ක්‍රියාවක් බවයි.

කෙසේ නමුත් අදාළ සිදුවීම පිළිබඳව ඡායාරූප සහ වීඩියෝපට  රාශියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එහි පැහැදිලිවම පෙනී යන්නේ එම අන්තවාදී පිරිස විසින් ප්‍රියන්ත කුමාර මහතාට පහර දී මරා දමා පුළුස්සා එම අවස්ථාව පෙනෙන අයුරින් ඇතැම් පුද්ගලියින් විසින් සෙල්ෆි ඡායාරූප පවා ගෙන ඇති අයුරකි.

යම් පුද්ගලයෙක් ම්ලේඡ්ච ලෙස මරා දමා ඔහුව පුළුස්සමින් එම ස්ථානයේ සෙල්ෆි ඡායාරූප ගනිමින් හැසිරෙන මෙම නරුමයන් ඇත්ත වශයෙන් ම මිනිස් සංහතියටම අගෞරවයක් නොවේ ද? තිරිසන් සත්ත්වයෙකුට හෝ මෙවැනි කෲර ක්‍රියාවක් සිදු කළ හැකි දැයි අපටම සිතාගත නොහැක.

මොවුන්ට මෙතරම් විවෘතව මෙවැනි අපරාධයක් සිදු කිරීමට කෙසේ පැමිණි ශක්තියක්ද? යන්න මෙහි දී නියෝජ්‍ය පොලිස්පති මොහොමඩ් හෆීස් මහතාට මෙන් ම අප සැමටත් පැන නැගී ඇති ගැටලුවයි.

එමෙන් ම පාස්කු ප්‍රහාරය පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබූ අතර එහි දී ඔහු ප්‍රකාශ කළේ මෙරට බුද්ධි අංශය ද මේ වන විට සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වී ඇති බවත් අන්තවාදය තුළින් මෙරටට විශාල අවදානමක් පවතින බවත්ය.

කෙසේ නමුත් එලෙස කෲර ලෙස පිට දේශයක දී මරා දමන ලද්දේ අපේ රටට විදේශ විනිමය උපයා දීමට වෙහෙසුුුනු අපේම ලාංකිකයෙකි.

කෙතරම් වන්දි ලැබුණ ද?කෙතරම් වරප්‍රසාද ලැබුණ ද, මියගිය පුද්ගලයා නැවත ගෙන්විය නොහැකි සේම මෙනිසා අසරණ වන පවුලේ සාමාජිකයින්ට හිමිවන දෙයක් ද නොමැති බවත් එබැවින් මෙවැනි අපරාධ තවදුරටත් තවත් පුද්ගලයෙක්ට සිදු නොවීමට කටයුතු කළ යුතු බවත් ඔහු මෙහි දී පෙන්වා දී ඇත.

Exit mobile version