අනාචාරීකම නිසා මැරුම් කෑ පොලිස් නිලධාරියාට ඉහලින්ම ගරුත්වයක්. හාමුදුරුවන්ට දරුණු ලෙස පහර දීලා.

පල්ලෙගම සම්බෝධි වැඩිහිටි නිවාසය අසලදී හිමිනමකගේ මන්නා පිහි පහරකින් බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටියදී මියගිය පොලිස් නිළධාරියාගේ අවසන් කටයුතු ඊයේ (21) දින පස්වරුවේ පොලිස් උත්තමාචාර සහිතව කටුවන,උඩ ගොමඩිය පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. ඒ අතරේ මරණය සිදුකල එම පොඩි හිමිනමට පොලිසිය දරුණු ලෙස පහර දී තිබෙන බවද වාර්තා වේ.

     දෙනියාය පොලිස්  ස්ථානයට අනුයුත්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයා ඉකුත් 16 දින පල්ලෙගම,ගංගොඩ මාර්ගයේ කිසියම් රාජකාරියක් සදහා සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී සවස 1.00-1.15 අතර කාලයේ  සම්බෝධි වැඩිහිටි නිවාසය අසලදී හිමිනමක විසින් මන්නා පිහියකින් ගෙල ප්‍රදේශයට පහරදීමෙන් බරපතල තුවාල ලබා බිම ඇද වැටී සිටියදී පොලීසිය විසින් දෙනියාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා තුවාලකරු  කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 19 දින උදෑසන මිය ගොස් තිබුණි.මියගිය පොලිස් නිළධාරි වරයා පල්ලෙගම ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණියක සමඟ කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර ප්‍රේම  සම්බන්ධය ඇති කරගෙන ඇති තරුණිය හිමිනමගේ වැඩිමහල් සහෝදරියක් වන අතර පොලිස් නිළධාරිවරයා විවාහක දරුවන් තිදෙනෙකුගේ පියෙකු බවට දැන ගැනීමට ලැබීම නිසා තම සහෝදරිය සමඟ තිබෙන සම්බන්ධය නතර කරන ලෙසට පොලිස් නිළධාරිවරයාට පවසා ඇතැත් නතර නොකිරීම නිසා ඉකුත් 16 දින සම්බෝධි වැඩිහිටි නිවාසය අසලදී හිමිනම හා පොලිස් නිළධාරිවරයා අතර බහින්බස් වීමක් ඇති වී පසුව හිමිනමගේ උර මල්ලේ දමා තිබූ මන්නා පිහියක් ගෙන පොලිස් නිළධාරිවරයාගේ ගෙල ප්‍රදේශයට පහර දී තිබුණ බවට පොලීසිය පැවැසීය.

     ඝාතනයට ලක්වූ විරිත්තමුල්ල ගමගේ දනුෂ්ක යන අයගේ දේහය කටුවන,උඩගොමඩිය,පාලම අසල සිය නිවසේ තැන්පත් කර තිබූ අතර ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය සහිත පෙට්ටිය පොලිස් නිළධාරින් විසින් භාර ගෙන සුසාන භූමිය දක්වා රැගෙන ගියාය.සුසාන භූමිය අසලදී ඝාතනයට ලක්වූ පොලිස් නිළධාරිවරයාගේ චරිතා ප්‍රදානය පොලීසිය විසින් කියවීමෙන් අනතුරුව පොලිස් නිළධාරියා විසින් සේවයේ සිටිය කාලයේ හිමිකරගත් පදක්කම් සිය බිරිඳට භාර දෙනු ලැබුවේ පොලිස්පති වරයා නියෝජනය කරමින් පැමිණි හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි 1 චන්දන විජේසේකර මහතා විසිනි.

       .2009 ඔක්තෝබර් 15 දින පොලිස් සේවයට එක්ව ඇති දනුෂ්ක නිළධාරිවරයා ඇල්පිටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මූලික පුහුණුව ලබා පිලියන්දල,දෙනියාය,මන්නාරම පොලිස් ස්ථානවල සේවය කර ඇත.උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී පූර්ණ භූමි හා ප්‍රථමාධාර පදක්කම් ලැබී තිබූ අතර සේවා කාලය තුලදී කරන ලද යහපත් ක්‍රියාවන් උදෙසා  ත්‍යාග හා ප්‍රසංසා 125 ක් හිමිකර ගෙන ඇත. මියගිය  පොලිස් නිළධාරිවරයාට දරුවන් තිදෙනෙකු සිටින අතර දියණියන් දෙදෙනෙකු හා පුතකු සිටියි.

    ආගමික වතාවත් සිදු කරනු ලැබුවේ උඩ ගොමඩිය හිදුරුගිරිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය  මැදකන්දේ ධම්මික හිමියන්,කෙසෙල්වත්ත පුරාණ රජමහා විහාරාධිපති පූජ්‍ය  බැලුම්මහර සුජීව හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසිනි.මාතර සහකාර පොලිස් අධිකාරි 6 ලාල් චන්ද්‍රසිරි මහතා,දෙනියාය,මොරවක,කොස්මෝදර,ඌරුබොක්ක,කටුවන පොලිස් ස්ථානාධිපතිවරුන් හා නිළධාරින්,ඥාතීන්,ප්‍රදේශවාසීන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අවසන් කටයුතු සිදු කෙරිණි.

අයාලේ ගොස් තම ජීවිතයත්, පොඩිනමකගේ ජීවිතයත් වැනසූ නරුම පොලිස් නිලධාරියා එසේ නීතිවිරෝදී කටයුත්තක් කලත්, පොලිසිය උපරිම ගරුත්වය දී මිහිදන් කලත්, ප්‍රදේශයෙන් ඇසෙන්නේ පොඩි හිමිගේ ගුණ වැයුමකි. එම පොලිස් නිලදාරියා දහදුරා පොලිස් නිලධාරියෙක් බවයි. කෙසේ නමුත් සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ එම පොඩි හිමිට පොලිසිය විසින් දරුණු ලෙස පහර දී තිබෙන බවයි. වගකීම් විරහිත දහදුරා පොලිස් නිලධාරීන්ගෙන් පොලිසිය පිරී තිබෙන බව අප දිගින් දිගටම පෙන්වා දුන්නත්, පොලිස් නිලධාරියා යහමග රැගෙන යාමට අවශ්‍ය කිසිදු දර්ශනයක් ඉදිරිපත්ව තිබෙන බවක් නම් තවමත් නොපෙනේ..

එම සිද්ධිය පිළිබදව සමාජ මාධ්‍ය වාර්තාවක් පහත දැක්වේ.

“පොඩි හාමුදුරුවෝ බොහොම අහිංසක පොඩි නමක්.නිහඩ චරිතයක්..
පවුලෙ ඉන්නෙ අම්මා තාත්තා හා සහොදරියො තුන් දෙනෙක්..
තාත්තා ඉන්නෙ ගොඩක් අසනීපෙන්..

මේ පොලිස් කොස්තාපල්වරයා ඒ එක් සහොදරියක් එක්ක සබදතාවක් පවත්වගෙන යනවා. ඒ සම්බන්ධය දුරදිග යනවා.
පසුව නිවසින් මේ පොලිස් කොස්තාපල්වරයා පිළිබද තොරතුරු හොයල බලනකොට තමයි දැනගන්නෙ මේ කසාද බැදපු දරුවො තුන් දෙනෙක් ඉන්න කෙනෙක් කියලා..

තාත්තා අසනිප වූ පවුලක ලංකාවේ පොලිසියේ සල්ලාලකාරයෙක් තම සහොදරිය සෙල්ලමට ගත් බව තේරුම් ගත් තරුණ වියට එලඹෙමින් සිටින අවු.17 ක සහොදරයෙක් ලෙස මෙකී සිදුවීම දෙස මා බලමි..

දැනට ඒ පොඩිනම අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දී ඇත.
නමුත් ඒ ගැන කිසිවෙකු කතා නැත.

පොඩි නමගේ ක්‍රියාව කිසිසේත්ම අනුමත නොකරමි. එහෙත් උන් පොලීසියේ කියා කාකි ඇදුම ඇදගත් පලියට අපේ ගැහැණු දරුවන් උන්ගේ සෙල්ලම් බඩු ලෙස භාවිතා කිරීමට ඉඩ දී නිහඩව සිටිය හැකිද.?
අත්අඩංගුවට ගත් අපේම පොඩි හාමුදුරුවන්ට එසේ අමානුෂික ලෙස පහර දෙද්දී භික්ෂූන් වහන්සේලා වූ අපගේ නිහඩ බව කොතරම් දුරට සාධාරණ ද.? ” , ලෙස සමාජ මාද්‍ය සටහන් වාර්තා වී තිබේ.

Exit mobile version