අනුරාධපුර මත් කරල් ජාවාරම

පාසල් දරුවන් ඇතුළු තරුණ පරපුර ඉලක්ක කරගනිමින් අනුරාධපුර නගරයේ මත් කරල් ජාවාරමේ නියැලුණු සැකකරුවන් 4 දෙනෙකු ඇතුළු මත් කරල් නමසිය හැත්තෑවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

වාර්තා වන ආකාරයට ප්‍රවාහනය කරමින් තිබූ සහ අලෙවියට සූදානමින් තිබූ මත් කරල් නමසිය හැත්තෑවක් සමග සැකකරුවන් හතර දෙනෙකු ඊයේ දින අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර නගරයේ පාසල් දරුවන් වැඩි වශයෙන් ගැවසෙන සහ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වෙන නව බස්නැවතුම්පල , මහජන පොළ , වැව් උද්‍යාන ප්‍රදේශ ආසන්නයේ ස්ථාන හතරකදී මත් කරල් සන්තකයේ තබාගත් අවුරුදු 20 – 35ත් අතර සැකකරුවන් හතර දෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අනුරාධපුර පූජා නගරයේ අරිප්පුපාර , ගලෙන්බිඳුනුවැව – උපුල්දෙනිය හා රඹෑව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසා තිබේ.

මෙම සැකකරුවන් සහ මත් කරල් තොගය අද දින අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම මත් කරල් ජාවාරමේ මහ මොළකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව ද අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පවසා තිබේ.

Exit mobile version