අපි කෑවෙ එකතු වෙලා. පුවත වැරදි. ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය අධ්‍යක්ෂක කියයි.

“ආරක්ෂක ලොක්කෝ දවස් 5 ට ලක්ෂ 11 ක් කාලා” යන පුවත සාවද්‍ය බවට ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක නිවේදනයක් මගින් දන්වා තිබේ.

එම නිවේදනය මගින් පෙන්වා දෙන්නේ සාමුහිකව පැවැත්වෙන තේ පැන් සංග්‍රහයක් සදහා එම මුදල් වියදම් කර තිබෙන බවයි.

කෙසේ නමුත් රටේ පැවැති ආර්ථික ගැටලුව නිසා වියදම් අඩුකරන ලෙස දන්වා තිබෙන චක්‍රලේඛ උල්ලංඝණය කිරීම පිළිබදව පිලිතුරු සපයා නැති අතර, ජල කාන්දුව පිළිබදවද පිළිතුරු සපයා නැත.

චක්‍රලේඛ පනවන්නේ මහජන සුභ සිද්ධිය වෙනුවෙන් වන අතර, ආරක්ෂක අමාත්‍යාංශයට අවශ්‍ය මුදල් ලබා දෙන්නේද මෙරට මහජනතාවයි. ඒවා වියදම් කල යුත්තේද පනවන නීතිවලට අනුවයි. ජල කාන්දුව නිසා අපතේ යන ජලයට පවා මුදල් ගෙවන්නේ නලීන් හේරත්ගේ හෝ අනෙක් නිලධාරීන්ගේ පෞද්ගලික බූදලයෙන් නොවේ.

තවද එම නිවේදනයක් මගින් පෙන්වා දි තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට මෙන්ම ත්‍රිවිධ හමුදාවට කැලළක් ඇතිවන ලෙස සමහර මාධ්‍ය ආයතන කටයුතු කර තිබෙන බවයි. එම ආයතන මොනවාද යන්න සෘජුවම ප්‍රකාශ කිරීම ද මාධ්‍ය අධ්‍යක්ෂකගේ වගකීම වේ.

කෙසේ වූවත් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක පවසන ආකාරයට ආරක්ෂක අමාත්‍යාංශට හෝ, ත්‍රිවිධ හමුදාව පිළිබදව මෙරට ජනතාවගේ අප්‍රසාදයක් නැත. නමුත් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ආරක්ෂක අමාත්‍යාංශයේ පරිපාලනයට දැඩි ලෙස එරෙහිව සිටී. එය කෙතරම්ද යත්, තව නොබෝ දිනකින් 125 ස් දෙනෙකුගෙන් යුත් භට සහ නිලධාරීන් කණ්ඩායමක් අධිකරණයට යාමට අවශ්‍ය නීති උපදෙස් පතා තිබේ. මහජනතාවගේ මෙන්ම වර්තමාන රටේ තත්ත්වය මෙන්ම මිනිසුන්ද මේ වන විට සිතන ආකාරය පිළිබදවද තේරුම් ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් පරිපාලන නිලධාරීන් අසමත්ව තිබේ. එබැවින් මහජන අප්‍රසාදය ලැබෙන්නේ එම නිලධාරීන්ටය. එම නිලධාරීන්ගේ එම වැරදි ක්‍රියාවන් නිසා හමුදා සාමාජිකයන්ගේ පවුල්වලින් පවා එම අප්‍රසාදයන් ලැබේ. නිලධාරීන් කිහිප දෙනෙකුගේ ක්‍රියාකාරකම් නිසා කිසිවෙක් හමුදාවන් වලට අප්‍රසාදය පල නොකරයි.

ඒ අනුව කල යුත්තේ මාධ්‍ය නිවේදන නිකුත් කරන්නේ නම්, එම පුවත්වල සදහන් සියලුම කරුණු පිළිබදව පිළිතුරු දී එම සියල්ලම නිවැරදි කිරීමට වගබලා ගන්නා බවට මහජනතාවට දැනුම් දීමයි. එසේ නොමැතිව මාධ්‍ය ආයතනවලට චෝදනා එල්ල කිරීම උදෙසා තමන්ගේ වාසියට තිබෙන කොටසට පමණක් පිළිතුරු දීමෙන් සිදුවන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ පරිපාලනයේ තිබෙන අයහපත් දැක්ම සහ දුර දිග නොබැලීමේ අදක්ෂතාවය ඉස්මතු වීමයි.

අදාල නිවේදනය පහතින් දැක් වේ.

2023.12.04 දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය හා සබැඳිව මාධ්‍යයන්හි වූ අසත්‍ය ප්‍රචාරය පිළිබඳවයි

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කටයුතු පරීක්‍ෂා කිරීම සඳහා විවිධ අවස්ථාවන්හිදී පැමිණි හමුදා ප්‍රධානින් පිරිසකට සංග්‍රහ කිරීම වෙනුවෙන් 2022 වර්ෂයේදී විශාල මුදලක් වැය කර ඇති බවට වැරදි අර්ථකථනයක් ලබාදෙමින් මාධ්‍යයන්හි ප්‍රචාරය වූ කරුණුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

මෙරට පමණක් නොව විදේශ රටවල ද මිත්‍ර හමුදාවන්හි හමුදා නිලධාරීන් සංග්‍රාමික උපායශීලීත්වයෙන් සහ උසස් දැනුමෙන් සන්නද්ධ කිරීමෙහිලා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනු ලබයි.

ඒ අනුව 2022 වසරේදී පැවති ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව සඳහා විදෙස් රටවල හමුදා නිලධාරීන් 25 දෙනෙකු සහ මෙරට හමුදා නිලධාරීන් 123 දෙනෙකු ඇතුළුව හමුදා නිලධාරීන් 148 දෙනෙකු සහභාගී විය.

ලෝකයේ ඕනෑම පොදු රාජ්‍ය මණ්ඩලීය රටක ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයක මෙහෙයවනු ලබන මෙවැනි පාඨමාලාවන්ගේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස වාර්ෂිකව එම පාඨමාලාව හදාරන දේශීය මෙන්ම විදේශීය රටවල ශිෂ්‍ය නිලධාරීන් වෙත එරට ආරක්‍ෂක ලේකම්වරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් විසින් ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්ති පිළිබඳව දේශන පැවැත්වීම සිදුකෙරේ. එම ක්‍රියාවලියට අනුකුලව ශ්‍රී ලංකාවේද මෙම උසස් නිලධාරීන්ගේ දේශන පවත්වනු ලබන අතර, රාජකාරී ස්වභාවය හේතුවෙන් සහ එකම අවස්ථාවක එම දේශන වාරයන් පැවැත්වීමේ ඇති ප්‍රයෝගික ගැටළු නිසාවෙන් අවස්ථා 5ක් යටතේ එම දේශන පැවැත්වීමට කටයුතු කෙරිණ.

එම අවස්ථාවන්හිදී දේශනවලින් අනතුරුව පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන්, උපදේශක නිලධාරීන් සහ නිත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ද ඇතුළුව 200ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් ආරක්‍ෂක ලේකම්වරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හෝ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ අදහස් හුවමාරුකර ගනිමින් තම දැනුම පුළුල්කර ගැනීම සඳහා අවස්ථාව සලසාලමින් ඔවුන් සමඟ එක්ව සාමුහික තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම පිළිගත් හමුදා සම්ප්‍රදායයි.

මේ අනුව එම සම්පුර්ණ වියදම් සිදුකර ඇත්තේ ආරක්‍ෂක ලේකම්වරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සංග්‍රහ කටයුතු සඳහා පමණක් නොවන බව ප්‍රකාශ කර සිටින අතර, මාධ්‍ය මගින් වැරදි අර්ථකථනයක් ලබාදීම පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශය කණගාටුව ප්‍රකාශ කර සිටී.

තවද, ඇතැම් මාධ්‍ය ආයතන මෙම සිදුවීම පිළිබඳ නිසි කරුණු සොයා බැලීමකින් තොරව වගකීම් විරහිත ලෙස අදහස් ප්‍රකාශ කිරීම මගින් ජනතාව තුල ආරක්‍ෂක අමාත්‍යංශය සහ ත්‍රිවිධ හමුදාව පිළිබඳව ජනතාව තුල පවතින විශ්වාසය කෙරෙහි කැළලක් ඇති කිරීමේ අරමුණින් කටයුතු කිරීම පිළිබඳව කණගාටුව ද පළකර සිටී.

Exit mobile version