පැරැණි ලක්දිව ගැබිනි කාන්තාව සම්බන්ධයෙන් පැවැති වැදගත් චාරිත්‍ර විධියක් වූයේ ගබ්බපටීහාර හෙවත් ගැබ්පෙරහැර දීමයි. බුදු දහමෙහිද මෙම ගැබ්පෙරහැර ගැන සඳහන් වෙයි. එය ස්වාමි පුරුෂයාගේ යුතුකමක් ලෙස බුදු දහමෙහි සඳහන් වේ. නිරෝගී දරු උපතක් සඳහා අවශ්‍ය පෝෂණය, චිත්ත සහනය, ධෛර්යය, ආදරය සහ කරුණාව තම බිරිඳට ඉතා ඉහළින් ලබා දීම ස්වාමිපුරුෂයකුගේ යුතුකම වේ.
පැරැණි සමාජයේ ගැබ්පෙරහැර සිදු කළ ආකාරය පිළිබඳව තොරතුරු පූජාවලිය ග්‍රන්ථය මැනවින් පැහැදිලි කර දෙයි. සිදුහත් කුමරු මව්කුස පිළිසිඳගත් අවස්ථාවේ මහාමායා දේවිය එම දරුගැබ රැකගත් ආකාරය මෙහි මැනවින් විස්තර කරනු ලබයි.
“ඒ මැණියෝ පිරුණු තෙල් පාත්‍රයක් දරන්නා සේ ගැබට කිසි පීඩාවක් නොකොට ඉතා උෂ්ණ භෝජනය, ඉතා ශීත භෝජනය, තිත්ත භෝජනය, කටුක භෝජනය, යනාදියෙහි රස නොදැන දස මස මුළුල්ලෙහිම පුතණුවන්ට ගැහැටුම් වෙතැයි කුසපුරා බත් නොකා, මුහුණින් වැද නොහෙව වම් ඇලයෙන් නොසැතපී දක්‍ෂිණ භාගයෙන්ම සැතපී, දරුගැබ සැලී නැගෙතැයි සක්මන් මාත්‍රාවකුද නොකොට දස මස මුළුල්ලෙහි ඉතා අප්‍රමාදව ගබ පිරිමැසූහ.”
පැරැණි භාරතීය මෙන්ම පැරැණි ලක්දිව සමාජයේද කාන්තාවකගේ කුස තුළ දරුවෙකු පිළිසිඳගත් විට ගැබ ගැස්සෙන සේ ක්‍රියා නොකීරීම මවගේ ප්‍රධාන වගකීම විය. ඇයට හදකම්පා වන ආරංචි දැනුම් නොදීම, අධිකව වෙහෙස නොකිරීම, ආදිය පිළිබඳව ස්වාමි පුරුෂයා මෙන්ම මව්පිය වැඩිහිටියෝද වග බලා ගත්හ. ගැබිනියකගේ කුස තුළ සිටින දරුවාගේ සිතුම් පැතුම් ක්‍රියාත්මක වන්නේ ඒ ගැබිනියගේ සතුට ප්‍රීතිය අනුව නිසා නිතරම ඇය සතුටින් තබා ගැනීමට, ඇයගේ සිතුම් පැතුම් සරල කරවීමට මව්පියෝ උනන්දු වූහ.
දරු ගැබ ආරක්‍ෂා කිරීම පවුලේ මෙන්ම සමාජයේද සැලකිල්ලට භාජනය වූ වැදගත් කරුණක් විය. ගැබ ආරක්‍ෂා කිරීම සඳහා පිළිපැදිය යුතු කරුණු රාශියක් වෛද්‍යක සාරාර්ථ සංග්‍රහයේ ගර්භණී චිකිත්සාවේ සඳහන් වේ.
ගැබිණි කාන්තාවකට පහර වැදීම, නරක් වූ අපථ්‍ය වු ආහාර පාන ගැනීම, බියවීම, හැසිරීම් ආදී හේතුන් නිසා ගැබේ සැලීමක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව පරීක්‍ෂාකාරී වීම වැදගත් කොට සැලකිණ. එවැනි අවස්ථාවකදී පසතුරු දළු කොටා මිරිකා ඉස්ම ගෙන ගිතෙල් සමග පානය කිරීමෙන් ගැබ නැවතත් ස්ථිර බවට පත්වෙන බවත් එහි සඳහන් වේ. ගර්භණී අවස්ථාවේදී උණ රෝගය වළක්වාගැනීම සඳහා පරීක්‍ෂාකාරීව සිටිය යුතු විය. එවැනි අවස්ථාවකදී කිරිගඟුලු ඉරමුසු, දියමිති, ඉරිවේරිය, වම්මුතු සහ ඉඟුරු යොදා උණු කරන ලද කෂාය පානය කිරීමෙන් ගැබිනි කාන්තාවගේ උණ නසාලන බවද බුද්ධධාස රජතුමා ඉහත සඳහන් ග්‍රන්ථයේ සඳහන් කර ඇත. මේ ආකාරයට ගැබ්ගෙන ප්‍රථම මාසයේ සිට දසවන මාසය දක්වා පිළිපැදිය යුතු කරුණු කෑමට බීමට සුදුසු ආහාර වර්ග, හැසිරිය යුතු ආකාරය ආදිය පිළිබඳව පැරැණි ලක්දිව සමාජයද රජයද සැලකිලිමත් වූ බව පෙනේ. ගර්භය පුෂ්ටිමත් කරවීම කෙරෙහිද ගැබිනි කතගේ මව්පියෝ විශේෂයෙන් උනන්දුවක් දැක්වූහ. වම්මුතු සුවඳ හොට, රසකිඳ, තොටිල, කොතඹුරු, වැල් කහඹිලියා පැපිලිය, සඳුන් කුඩු සහ බැවිල යන බෙහෙත් වර්ගවලින් කකාරන ලද කෂාය බීමට දීමෙන් ගැබ පුෂ්ටිමත් වී ඇත. එසේම ගැබිනියන්ගේ ජවර, කාස, ආම, අතීසාර, ශෝථ ප්‍රහණී යන රෝගවලටද ඉහත සඳහන් කරන ලද ඖෂධ භාවිත කර ඇත.
ගර්භණී කාන්තාවක් නිවසේ සිටින විට පිළිපැදිය යුතු සිරිත් විරිත් කිහිපයක්ද පැරැණි ලක්දිව සමාජයේ පැවැතිණ. ඇයට දරුවා ලැබෙන තුරු අලුතින් ගෙයක් ඉදි කිරීමෙන් වැළකී සිටියේය. තමා වාසය කරන නිවසේ අලුත්වැඩියා කටයුතු සිදු නොකළේ ඒ මගින් කුඩා ප්‍රාණීන්ට හිරිහැරයක් විය හැකි නිසා ඉන් දරු ගැබට අයහපතක් වේයැයි සලකමිනි. දරු ප්‍රසූතියක් බලාපොරොත්තු වන කාන්තාවක් කිසිවිටක තම නිවසෙහි මැටි ගෑම, ගොම ගෑම, ආදිය ද නොකළ අතර එසේ කළේ කුහුඹුවන් වැනි කුඩා සතුන්ගේ වාසස්ථාන ඇය අතින් ආවරණය වීමට ඉඩ ඇති බැවිණි.
එසේම දරු ගැබක් ඇතිවූ විට ගැබිනියට විවිධ ආශා ඇති වේ. එය හඳුන්වන ලද්දේ දොළ දුක වශයෙනි. දොළ දුකක් ඉපදී දරුවා කෙරෙහි සෙනෙහසක් ඇතිවූ මාතාව ‘‘සුභද්‍රා’’ නමින් හඳුන්වන ලදී. ගර්භණී කාන්තාවකගේ දොළ දුක කෙසේ හෝ සංසිඳුවීමට කටයුතු කිරීම පැරැණි ලක් සමාජයේ අනිවාර්ය කාර්යයක් ලෙස පිළිගැණින .
හෙල කාන්තාවන් ගේ ගැබ්බර විම පිළිබඳ ඒදා දැක්වු අප්‍රමාණ සැළකිලි සහ වත් පිළිවෙත් නිසාම අතිතයේ නීරෝගි ජන සමාජයක් අපට දැකිය හැකිවිය .
වර්ථමානයේ සමාජ ආර්ථික බටහිර ගැති සංකර සිරිත් විරිත් හමුවේ ගර්භණී කාන්තාවන් ද අන්ත අසරණව ඇත . අද දරුවෙකු කුස පිළිසිඳගත් දින සිටම විවිධාකාර කෘතිම බෙහෙත් පෙති සහ මේකි නොකි පරික්ෂණ රාශියක ග්‍රහණයට ගර්භණී කාන්තාවන් ලක්වි ඇත.
සමාජ ආර්ථික පිඩනය සහ කෘතිම සංකර වෙද පිඩනයෙන් ද වර්තමාන ගර්භණී කාන්තාවන් පිඩනයට පත්ව ඇත.
අපිට අපේම ආවේණික වෙද පිලියම් සහිත සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකසා ගත හැකිනම් සෞඛ්‍ය සම්පන්න ගර්භණී මාතාවක් තුලින් නීරෝගි සෞඛ්‍ය සම්පන්න දරුවන් බිහිකිරිමට හැකියාව ලැබෙනු ඇත.
වෛද්‍ය . කේ.ඒම්.නිසංසලා
2023/01/12