අමාත්‍යංශ කිහිපයක සංශෝධනයන්

ඊයේ (10) රාත්‍රියේ අමාත්‍යංශ කිහිපයක කාර්ය භාර්යන් කිහිපයක සංශෝධනයක් සිදු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනයට අනුව පහත සංශෝධනයන් සිදුකර ඇත,

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට බෞද්ධ පුනරුද අරමුදල සහ රාජ්‍ය සේවා අන්‍යෝන්‍ය අර්ථ සාධක සංගමය එක්කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට බුද්ධ ශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල, මහා භාරකාර දෙපාර්තමේන්තුව එක්කර ඇති බව වාර්තා වේ.

ලොහාන් රත්වත්තේ මහතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශය ඉවත් කර ඇති අතර එහි කාර්යයන් හා කර්තව්‍යයන් සුවිශේෂී ප්‍රමුඛතා අදාළ ආයතනික හා නෛතික රාමුව අධිකරණ අමාත්‍යංශය යටතට පත්කර ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව ,තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු පාසල, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය මින් ඉදිරියට අධිකරණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතේ පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත, පළාත් සභා ඡන්ද විමසීම් පනත ක්‍රියාත්මක කිරීම ,රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතට පත්කර ඇත.

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා යටතේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අදාළ ගැසට් නිවේදනය මගින් අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරා ඇත.

ආයෝජන මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය කිරීම ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතට පත්කර ඇති අතර එහි රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඩීතවීත චානක මහතා කටයුතු කරනු ලබයි.

එමෙන්ම විමල් වීරවංශ මහතා විසින් අමාත්‍ය ධූරය හොබවන කර්මාන්ත අමාත්‍යංශය යටතට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පත්කර ඇති අතර ඒ අනුව ඔහු යටතේ පවතින ආයතන ගණන 16 දක්වා ඉහළ යනු ඇත.

Exit mobile version