අයහපත් කාලගුණය මහනුවර පවුල් 21ක් කබලෙන් ලිපට ඇඳ දමයි: කම්කරු කාන්තාවක් මරුට.

අධික සුළං ඇතුලු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ එක් අයෙකු මරණයට පත්ව පවුල් 21ක් අවතැන්වී ඇතැයි  මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා සඳහන් කරයි.

වැසි සමග හමන අධික සුළං හේතුවෙන් පන්විල, නෙල්ලිමලේ වත්තේ තේ දළු නෙළමින් සිටි කාන්තාවක් මතට ගසක් කඩා වැටීමෙන් ඇය මරණයට පත්ව ඇති අතර සුළං හේතුවෙන් එම ප්‍රදේශයේ තවත් අයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.

මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි අයහපත් කාලගුණික තත්ත්වය නිසා පවුල් 21ක සාමාජික සාමාජිකාවන් 92ක් අවතැන් වී ඇත.  මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ඔවුන් මේ වන විට ආරක්ෂිත ස්ථානවල පදිංචිකරවීමට කටයුතු යොදා තිබේ.

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවදානම් දිස්ත්‍රික්ක අතරට මහනුවර  නම් කිරීමට ද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, දෙල්තොට, පාතහේවාහැට, පන්විල, දොළුව, උඩුනුවර සහ යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රදේශ රැසක් අවදානම් තත්ත්වයේ පවතින බැවින් මහජනයා විමිසිලිමත් විය යුතු යැයි ද දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා තව දුරටත් සඳහන් කරයි.

සරත් සමරනායක.

Exit mobile version