අල්ලසට වැඩ වරදී

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අල්ලස් මුදලක් ලබාගත් බීට්ටු වන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මොරාන බීට්ටු වන කාර්යාලයේ සේවයේ නිරතව සිටි බීට්ටු වන නිලධාරියෙකි.

වාර්තා වන ආකාරයට සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකු සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකාර බීට්ටු වන නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර පැමිණිලිකරු සහ ඔහුගේ ඥාතියෙකු විසින් බක්මිටියාවත රතුගලයාය නමැති ඉඩමක 2005 වර්ෂයේ සිට හේන් වගාවක් සිදුකර ඇති අතර එය පරීක්ෂා කිරීමට සැකකාර බීට්ටු වන නිලධාරියා පැමිණ තිබේ.

එහිදී ඔවුන් දෙදෙනා අනවසරයෙන් හේන් වගාව සිදුකර ඇති බවට චෝදනා කර නඩු පැවරීම සිදුකළහොත් විශාල දඩ මුදලක් ගෙවීමට සිදුවන බව පවසා අඩු දඩ මුදලක් නියම වන ලෙස ඉඩම් ප්‍රමාණය වෙනස් කර නඩු පවරා දෙන බව පවසා තිබෙන බවත් ඒ සඳහා දෙදෙනා වෙතින් එක් අයෙකුගෙන් රුපියල් 25,000ක් බැගින් වූ අල්ලස් මුදලක් ඉල්ලූ බවට පැමිණිලිකරු අල්ලස් කොමිසමට පවසා ඇත.

එම කාර්යාලය තුළදී ඊට අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී මෙලෙස සැකකාර බීට්ටු වන නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතරමූලික විමර්ශනවලින් අනතුරුව සැකකාර නිලධාරියා සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version