වයස අවුරුදු 19ට අඩු මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව පිළිකා රෝගයට ගොදුරු වන බවට සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ ශාස්ත්රාලයේ ලේකම් විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා පැවසීය.
රුධිරගත පිළිකාවන් වන ලියුකේමියාව, වසා ගැටිති ආශ්‍රිත පිළිකාවන් වන ලිම්ෆෝමියාව, මොළයේ පිළිකා වන මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා, අධි වෘක්ක ග්‍රන්ථියේ පිළිකා වන නියුරොබ්ලාස්ටෝමාව සහ අස්ථිවල ඇති වන පිළිකා දරුවන් අතර බහුල බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. දරුවන්ට වැලඳෙන බොහෝ පිළිකා මුල් අවස්ථාවේම හඳුනාගෙන නිසි ප්‍රතිකාර දීමෙන් නිට්ටාවට සුව කළ හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
දරුවන්ට වැලඳෙන පිළිකා සඳහා අවදානම් සාධක හෝ හඳුනාගත් පිළිකා කාරකයන් නැති වීම විශේෂත්වයක් බවත් දරුවන්ට ඇති වන පිළිකා සම්බන්ධයෙන් වන රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටීමෙන් මුල් අවස්ථාවේදීම රෝග හඳුනාගත හැකි බවත් ඒ මහතා කීය.
දිගින් දිගටම පවතින උණ, විදුරුමස්වලින් ලේ ගැලීම, සමේ ඇති වන දද, කුෂ්ට, අත්පාවල අධික වේදනාව, කුද්දෙටි ඉදිමීම යනාදය ලියුකේමියාවට අදාළ රෝග ලක්ෂණයන් වේ. කුද්දෙටි ඉදිමීම, රාත්‍රියෙහි හට ගන්නා උණ, බඩෙහි ඇති වන ඉදිමීම යනාදි රෝග ලක්ෂණ ලිම්ෆෝමියාවට අදාළ වේ. හිසරදය, උදෑසන ඇති වන වමනය, අත්පාවල ඇතිවන දුර්වලතා, අධ්‍යාපන කටයුතුවල පිරිහීම, අපස්මාර තත්ත්වය යනාදිය මොළයේ පිළිකාවට ඇති වන රෝග ලක්ෂණ වේ. අත්පාවල අස්ථිවල ඇති වන ඉදිමුම, වේදනාව සහ චලනයන්ගේ සීමා සහිත බව, කුඩා අනතුරකින් පවා සිදු වන අස්ථි බිදීම් යනාදි රෝග ලක්ෂණ අස්ථිමය පිළිකාවලට හේතු වේ.
සෑම වර්ෂයකම පෙබරවාරි 15 දාට ලෝක ළමා පිළිකා දිනය යෙදේ. පිළිකා මාරයාට නොබියව මුහුණ දී ඉන් ජය ගත පුංචි විරුවන්ගේ නොපසුබට උත්සාහය සැමරීමත්, ඔවුන් සමඟ ඒ සටනට උර දෙමින් දිවා රෑ ඔවුන් රැක බලා ගන්නා ඔවුන්ගේ ආදරණීය මවුපියන් සහ උවටැන් කරන සියලු දෙනා අගය කිරීමත්, පිළිකාව නිසා අකාලයේ සමු ගත් සුවහසක් දරුවන් සිහිපත් කිරීමත් මේ දිනයෙහි අරමුණ වී තිබේ.
දරුවන්ගේ පිළිකා සඳහා සෑම විටම ප්‍රමුඛත්වය දීමේ වැදගත්කම හඳුනාගෙන ඇති අතර, මෙවැනි රෝගි තත්ත්වයන් සඳහා කරන ප්‍රතිකාරවල අවසන් ඵලය වඩාත් යහපත් කිරීමෙහිලා විවිධ ක්‍රියාකාරකම් රැසක් ශ්‍රී ලංකා පිළිකා වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මඟින් ක්‍රියාවට නංවා ඇත. ඒ අතුරින් ප්‍රමුඛ කාර්යයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අරඹා ඇති ගෝලීය ළමා පිළිකා මැඬලීමේ වැඩපිළිවෙළෙහි ප්‍රධානම ක්‍රියාකාරි ආයතනය ලෙස ශ්‍රී ලංකා පිළිකා වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය රට තුළ කටයුතු කිරීම පෙන්වා දිය හැකිය.
(දිනමිණ)