ආර්ථිකය විනාශ කළ ඇමතිවරු මල්මාලා දමා පිළිගනිද්දී මෙරට දරුවන් 56,000ක් මන්දපෝෂණයෙන් දුක්විඳියි

යුනිසෙෆ් සංවිධානය වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ දරුවන් 56,000 ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඉන් වයස අවුරුදු 05ට අඩු ළමයින් සඳහා ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය බවත්ය.

එසේම මෙරට ළමයින් ලක්ෂ 22 කට මානුෂීය සහය අවශ්‍ය බවත් එම වාර්තාවේ සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ දරුවන් මිලියන 4.8කට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය අවශ්‍ය වන බවත් මිලියන 6.2 ක ජනතාවක් මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන අතර 66,000 ක් උග්‍ර අහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මිට අමතරව මෙරට ආර්ථික සහ දේශපාලන අර්බුධය හේතුවෙන් විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන් ප්‍රමාණයද 286% කින් මෙම වසරේදී වැඩි වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පවුල් පහකින් දෙකක්ම තම මාසික වැටුපෙන් 75% ක් වියදම් කරනු ලබන්නේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වන අතර ඒ හේතුවෙන් අධ්‍යාපන සහ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කිරීමට හැකි වන්නේ ඉතා අඩු ප්‍රමාණයක් බව යුනිසෙෆ් සංවිධානය මඟින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ මෙවැනි ඛේදනීය තත්වයක් නිර්මාණය වී තිබෙන පසුබිමක එයට වගකිවයුතු පාලකයින් තවමත් සුවිසල් මන්දිරවල තිබෙන  සීතල කාමර තුළ සුරසැප විඳිමින් කල් ගෙවන බව නම් නොරහසකි.එමෙන්ම දරුවන් මෙලෙස දුක්විඳිද්දී ජනතාව විසින් පන්නා දැමූ ඇතැම් දේශපාලඥයන් පිටරට සිට  නැවත මෙරටට පැමිණෙන විට මල්මාලා දමා පෙරහැරකින් පිළිගන්නා සමාජයක් නිර්මාණය වී තිබීම කණගාටුවට කරුණකි.

Exit mobile version