ඇඟලුම් ආදායමෙන් කොටසක් නැවත පිටරටට.

ශ්‍රි ලංකාව ඇඟලුම් ක්ෂේත්‍රය තුළින් ලබාගන්නා ආදායමෙන්  50%ක් නැවතත් පිටරටට යන බවට හෙළිදරව්වක් ඇත.ලංකාව තුළ නිෂ්පාදනය වන ඇඟලුම් වලින් වාර්ෂිකව ලැබෙන ඇමෙරිකානු ඩොලර් කෝටි 500ක ආදායමෙන් ඩොලර් කෝටි 250ක් නැවත ගෙවන්නට සිදුවන බව ඇඟලුම් අපනයනකරුවන්ගේ සංසදය හෙළිකර තිබේ.

එලෙස ගෙවීමට සිදුවන්නේ නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන රෙදි, නූල්, ඩයි වර්ග ආදී සියලු අමුද්‍රව්‍ය විදේශවලින් ගෙන්වන බැවිනි.

මේ අනුව ඇඟලුම් අපනයනයෙන් රටට ලැබෙන ශුද්ධ ආදායම ඩොලර් කෝටි 250කි.

කෙසේ වුවත් නිරෝධයන ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ දී ද රටට විශාල ආර්ථික අවාසියක සිදුවන බව පවසමින් ඇඟලුම් කර්මාන්ත ශාලා විවෘතව තබා ඇති අතර ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව සහ සේවා ස්ථානයේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට හැකි උපරිම පියවර ගන්නා බවය.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගසයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා ප්‍රකාශ කරන්නේ, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ ප්‍රකාශය “ ලාභය වැඩිකර ගැනීම සඳහා සේවකයින් බිලිදීම ගැන ඔවුන්ගේ සතුට පලකිරීමක්” ලෙස සලකන බවය.

බීබීසීයට අදහස් දැක් වූ ඒ මහතා සඳහන් කළේ ඇඟලුම්කම්හල් හා වෙළඳ කලාපවල සේවකයින් අතර කොවිඩ් පැතිරයාම වැඩි බවය.

මෙතෙක් පැවති කිසිදු ආණ්ඩුවක් ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන වෙනුවෙන් නේවාසිකාගාරයක් හෝ තනා දීමට පියවර ගෙන නොමැති අතර ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1000කටත් අඩු බව ද ඔහු එහිදී හෙළිකර ඇත.

2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනය තුලින් ඇමරිකානු ඩොලර් මිලියන 5307.80ක් උපයා ඇති අතර 2020 වසර වන විට ඇ.ඩො.මිලියන 4155.99 දක්වා පහත වැටී ඇති නමුත් මෙම වසරේ මේ වන විට අපනයන වල ආදායම ගිය වසරට වඩා ඉහළ ගොස් ඇත.

මෙම කර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට 6% ක දායකත්වයක් සපයන අතර ,රටේ සමස්ථ අපනයන වලින් එය 40%ක් සපුරාලයි.

Exit mobile version