මේ එල්ල වෙලා තියෙන ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් නිදහස් වූවත් නැතත්, ධනුෂ්ක ගුණතිලක කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තියා අඩු තරමේ ඔළිඳ කෙළිය සඳහාවත් රටක් නියෝජනය කරන්න සුදුසු පුද්ගලයෙකු නොවන බව රසික ජයකොඩි මහතා සදහන් කරයි
ඔහු සදහන් කරන ආකාරයට කලින් කිහිප වතාවක් ම ඔහු විනය කඩකිරීමට වරදකරු වී තිබේ. “නයිට් ක්ලබ්වල පහරදීම්වලට මැදි වුණා. කාන්තාවන්ට හිරිහැර කළ බවට චෝදනා එල්ල වුණා. එංගලන්තයේ දී ජෛව බුබුළ කැඩීමට වරදකරු වුණා. 2017 වසරේ සිට බැලුවොත් හැම වසරක ම ඔහු එක වරක් හෝ මෙවැනි චෝදනාවකට මුහුණ දීලා තියෙනවා.” ඔහු සදහන් කරයි
ඒත් ලංකාව කියන්නේ නීතියක්, විනයක් හෝ සිස්ටම් එකක් නැති රටක් හින්දා මේ හැම ප්‍රශ්නයක් ම ඔහු ගොඩින් බේරගෙන තියෙනවා. දඬුවම් ලැබුණු අවස්ථාවල දී පවා ඔහු දඬුවම් ලිහිල් කරගෙන තියෙනවා. එහෙම කරගන්න පුළුවන් බව දන්න නිසා ඔහු එකම වැරදි නැවත නැවත කරනවා. ක්‍රිකට් පරිපාලකයන් හැමදාම ඔහු ආරක්ෂා කරනවා. ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මුන් කවදහරි හැදෙයි කියලා බලන් ඉන්නවා.
ධනුෂ්ක ගුණතිලකට ලැජ්ජාවකුත් නැහැ. ක්‍රිකට් පරිපාලනයට ලැජ්ජාවකුත් නැහැ. ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ලැජ්ජාවකුත් නැහැ.
ධනුෂ්ක ගුණතිලක කියන්නේ හුදෙකලා මිනිහෙක් ම නෙවෙයි – ලංකාවේ තියෙන ලුම්පන් සංස්කෘතිය ක්‍රීඩාව තුළ එළියට ප්‍රකාශ වෙන එක මුහුණුවරක්. ධනුෂ්කලා විතරක් නෙවෙයි යාල වනෝද්‍යානයේ රේස් පදින ඇමති පුත්තු, වොයිස්කට් දෙන චණ්ඩි සාදුලා, පාර්ලිමේන්තුවේ ඉන්න චොකා මල්ලිලා, දේශපාලකයන්ට ළංවෙලා සල්ලි හොයන කොන්ත්‍රාත්කාරයෝ වගේ හුඟක් අය මේ ලුම්පන් සංස්කෘතියේ ඉස්සරහින් ම ඉන්නවා. සරලව කිව්වොත් දේශපාලනයේ සනත් නිශාන්තයි, ක්‍රීඩාවේ ධනුෂ්ක ගුණතිලකයි අතර ලොකු පරතරයක් මට පෙනෙන්නෙ නැහැ. දෙන්නම ඉන්නෙ එක ම සංස්කෘතියක් ඇතුළේ. දෙන්නට ම පොදු ‘වටිනාකම්’ හුඟක් තියෙනවා.
සනත් නිශාන්තලා දිගට ම දේශපාලනය කරයි. ධනුෂ්ක ගුණතිලකලා දිගට ම ක්‍රිකට් ගහයි. ඇමති පුත්තු දිගට ම නොසණ්ඩාල වැඩ කරයි. මිනිස්සු “කවදහරි මුන් හැදෙයි” කියලා දිගටම බලා ඉඳියි. අතරින් පතර එයාලා කරන ‘හොඳ වැඩත්’ celebrate කරයි.
ඒ නිසා ධනුෂ්ක ගුණතිලක ගැන විතරක් විශේෂයෙන් ම කේන්ති ගන්න හේතුවක් මට පේන්නෙ නැහැ.
ධනුෂ්ක කියන්නේ අපි සේරම එකතු වෙලා නිර්මාණය කරගෙන තියෙන ලංකාවේ සිස්ටම් එකේ සුජාත දරුවෙක්.
හිරෙන් නිදහස් වෙලා ලංකාවට එනකොට එයාපෝට් එකේදී මල්මාල දාලා පිළිගන්න වටින සැබෑ ම භූමිපුත්‍රයෙක්.” ලෙස ඒ මහතා සදහන් කරයි
–