ඇමැති මනුෂ වතු කම්කරුවන් වෙනුවෙන්  නිලධාරීන්ට උපදෙස් දෙයි.

වතු කම්කරු ක්ෂේත්‍රයට අදාළ නීති රීති වඩාත් කාර්යක්ෂම සහ සක්‍රීය ලෙස ක්‍රියාත්මක කරන ලෙසත්, වතුකම්කරුවන්ගෙන් ඉදිරිපත්වන පැමිණිළි සම්බන්ධයෙන් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාකර ඒවා විසඳීමට  අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අමාත්‍යවරයා මෙම උපදෙස් දුන්නේ අද (09) පෙරවරුවේ නාරාහේන්පිට – මෙහෙවර පියෙසෙහි පිහිටි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ දී පැවැති රැස්වීමක් අමතමිනි.

වතු කම්කරුවන් ලංකාවට පැමිණ වසර 200ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඉදිරියේ දී ක්‍රියාවට නංවන වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වතු වෘත්තීය සමිති නියෝජිතයන් සමග මෙම රැස්වීම පැවැත්විණි.

එක් කම්කරු නීතියක් සැකසීමේ කටයුත්තේ දී වතු කම්කරුවන්ට බලපාන කරුණු සම්බන්ධයෙන්  වෙන වෙනම විශේෂ අවධානයක් යොමු කරන ලෙසත්, වතු කම්කරුවන්ගෙන් ඉදිරිපත්වන පැමිණිළි සම්බන්ධයෙන් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාකර ඒවා විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවැසීය. එසේම, වතු කම්කරුවන්ට අදාළ ප්‍රශ්න සොයා බැලීමේ විශේෂ වැටලීම් අංශයක් පිහිටුවීමට ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වතු කම්කරුවන්ගේ ප්‍රශ්නවලට අදාළව ඔවුන්ට ලිපි යැවීමේ දී අනිවාර්යයෙන්ම දෙමළ භාෂවෙන් එම ලිපි යැවීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

වතු වෘත්තීය සමිතිවලින් ද මෙහි දී ඉල්ලීම් රැසක් ඉදිරිපත්වූ අතර ඒවා විසඳීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අවශ්‍ය උපදෙස් දුන්නේය. විශේෂයෙන් ම සේවයේ යෙදී සිටින විට වතු කම්කරුවන්ට අවශ්‍ය විවේකාගාර, වැසිකිළි කැසිකිළි ඇතුළු සුබ සාධන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ විශේෂ අවධානයක් යොමු විය.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජීවන් තොන්ඩමන් සහ වඩිවේල් සුරේෂ් යන මහත්වරුන් ඇතුළු වතු වෘත්තීය සමිති නියොජිතයන් රැසක් ද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර මහතා සහ කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු නිලධාරීහූ රැසක් ද එක්ව සිටියහ.

Exit mobile version