මිලියන් ගණනින් මුදල් වෙන් කරමින් ගොඩනැගිලි ඉදිකිරිමට පෙර රටක මානව ප්‍රජාව සහිත ජීවී සංහතියට ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය වී තිබිය යුතුය. අවුරුදු පහකින් පසුව එන මැතිවරණයෙන් තමන්ගේ ගොඩ වැඩි කරගනිමින් බලයේ රැදී සිටිමට හැක ලෙස ඕනෑම බලු වැඩක් කරන්න පුරුදු වෙලා සිටින මෙරට මහජන නියෝජිතයන් තවමත් සිදුකරන්නේ ජනතාව ගොනාට අන්දීම සහ එවැනිම ආත්මාර්තකාමී මිනිසුන් කොටසක් එවැනි පුද්ගලයන් බලයට පත් කර, තමන්ගේ කුස වඩා ගැනීම පමණයි.
එවැනි රටක් වූ ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රොහල යනු මිනිසුන් දහස් ගණනකට සේවය සලසන අතිවිශාල රෝහලකි. මිලියන් ගණනින් වියදම් කර ගොඩනගා තිබෙන මෙම රෝහලේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට කිසිදු නිර්වේදන වෛද්‍යවරයකු නොමැතිකමින් ඇඹිලිපිය දිස්ත්‍රික් මහ රෝහලට පැමිණෙන රෝගීන්ට මරණය පෙනී පෙනී ජිවත් වීමටත් , දැඩි දුෂ්කරතාවයනටත් මුහුණ දීමට සිදුව තිබේ.
ඒ හේතුවෙන් රෝහලට පැමිණෙන රෝගීන්ට කරාපිටිය, රත්නපුර, හම්බන්තොට ආදී ප්‍රදේශවල තිබෙන රෝහල්වලට යාමට සිදුව තිබෙන අතර ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල යනු සබරගමුව දකුණ සහ ඌව කියන පළාත් තුනක රත්නපුර, හම්බන්තොට, මාතර, මොණරාගල දිස්ත්‍රික්ක හතරක රෝගීන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබාගන්නා රෝහලකි. 2023.04.10 සිට කිසිදු නිර්වින්දන වෛද්‍යවරයකු නොසිටි ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වරින් වර වෛද්‍යවරු අනුයුක්ත කර තිබුණත් ඔවුන් ද අධ්‍යයන නිවාඩු සහ සේවයට නොපැමිණීම නිසා මෙම තත්ත්වය ලක්ව ඇත.
පසුගිය දෙසැම්බර් තුන්වැනි දා සිට මේ දක්වා කිසිදු නිර්වින්දන වෛද්‍යවරයෙකු රෝහලේ නැත මෙම රෝහලේ ඇඳන් පහක දැඩිසත්කාර ඒකකයක් ඇති අතර රත්නපුර ශික්ෂණ රෝහල හැරුණු ප්‍රදේශයේ දැඩිසත්කාර එකකයක් පවතින එකම රෝහල ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලයි.
එම දැඩිසත්කාර රෝගීන් හම්බන්තොට මොණරාගල මාතර රත්නපුර කරාපිටිය වැනි ප්‍රදේශවලටද යැවිමට සිදුව තිබෙන්නේ ශල්‍යකර්ම සිදු කිරීමට නොහැකි වීම නිසාය. එසේම රෝගීන්ට වෙනත් පරිබාහිර රෝහල්වලට යැවීමටද සිදුවී තිබෙන්නේ ශල්‍යකර්ම සිදුකිරීමට නොහැකිවීම නිසා වන අතර දැඩි රෝගාබාධ වලින් පෙනෙන ශල්‍යකර්ම අවශ්‍ය රෝගීන්, මුඛ, හණු ,උගුර, කන, නාසය ශල්‍යකර්ම අවශ්‍ය රෝගීන් මෙන්ම සීසේරියන් සැත්කම් සිදු කිරීමට පවා ගැටළු ඇතිකර තිබේ.
මෙම රෝගීන් සියලු දෙනා අනෙක් රෝහල් වෙත මාරුකර යැවීමට ප්‍රායෝගික නොමැති බවද පාලන අධිකාරිය පවසන අතර නීර්වින්දන වෛද්‍ය වරයෙකු නොමැතිව ශල්‍යකර්ම සිදු කිරීම රෝගී ජීවිත යේ අවදානමකට හෙළීමක් බවද ඔවුන් පවසයි. එසේම එය මහා වේදනාවක් බව අප අමුතුවෙන් ලිවිය යුතු නැත.
දැඩිසත්කාරයක ඇඳන් පහ ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමද එයට බලපා තිබෙන අතර මේ වන විට අමාත්‍යාංශය මගින් තාවකාලිකව වෛද්‍යවරයකු අනුයුක්ත කර ඇතත් එම වෛද්‍යවරයා ගල්ගමුව මූලික රෝහලෙන් මුදා නොහැරීම නිසා රෝහලට පැමිණීමද සිදු නොකරයි. ගල්ගමුව රෝහලෙන් මුදා නොහරින්නේ එසේ කල විට එම රෝහල අපහසුතාවයට පත්වන නිසා විය යුතුය. වෛද්‍යවරුන් නොමැති නම් ඔවුන් ඉක්මනිනේ පුහුණු කරමින් ජාතික අවශ්‍යතාවයට සරිලන ලෙස සැකසීමට කටයුතු කිරීම සමස්ත පාර්ලිමේන්තුවේම වගකීමකි.
මෙම රෝහලට නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අවශ්‍යව සිටින අතර ඇඳන් 475 කින් යුත් වාට්ටු දහතුනක් ඇත. ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ දෛනිකව රෝගීන් ඇතුළත් කිරීම දෙසිය පනහකට වැඩි පිරිසක් වන අතර බාහිර රෝගී අංශය සඳහා පන්සියයකට වැඩි පිරිසක් දෛනිකව ප්‍රතිකාර ලබාගන්නා බවත් පසුගිය වසර වල ශල්‍යකර්ම දස දහසකට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බවත් දරු ප්‍රසූතීන් හාරදහසකට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බවත් සායන සඳහා රෝගීන් දහදහසකට වැඩි ප්‍රමාණයක් ලියාපදි වී ඇති බවද පාලනාධිකාරීය පවසයි.
කනිෂ්ඨ කාර්ය මණ්ඩ නිලධාරීන් හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල ද මෙම රෝහලට ඉතාමත් අවම මට්ටමක පවතින බවත් පසුගිය කාලයේ දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත් කිරීමෙන් පසු එම කාඩර් එකද වෙනස් කර නොමැති බවද සඳහන් වෙයි. මෙම රෝහලේ ධාරිතාවට වඩා රෝගීන් පැමිණෙන බවත් ඒසඳහා රෝහල යාවත් කාලීන වී නොමැති බවත් වැඩි දුරටත් වාර්තා වේ.
කොඨිඨාශ සම්බන්ධිකරණ, දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්වීම් ආදිය කොයි තරම් රැස් වුවත්, මෙවැනි කල යුතුම මහජන අවශ්‍යතාවයක්වත් ඉටුකරන්න එම රැස්වීම්වලට නොහැකි වීම පිළිබඳව මහජන නියෝජිතයන්ට ලැජ්ජාවක් නැතිබව අප ඉතාම හොඳින් දනී. ඔවුන් ලජ්ජා වන්නේ සහ ඔවුන්ට දැනෙන්නේ බලය අහිමිවීම පමණක් බවද අප අමුතුවෙන්ම ලිවිය යුතු නැත. අවුරුද්දක් යන තෙක්ම මිනිසුන් දහස් ගනනක් වෙත අවශ්‍යම කරුණු ඉටුකිරිම වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකලේ බෙහෙත් වලින් මංකොල්ල කෑම බව මෙරට ජනතාව ඉතාම හොඳින් දැනගෙන සිටි. එවැනි ක්‍රියාවන් වලට එරෙහිවීමට කොන්දක් නොමැති රජය නියෝජනය කරන සියලුම මාහජන නියෝජිතයන් මේවාට වගකිව යුතුය.