ඉඩම් ආරවුලක් දුර දිග යාමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට .

ගල්නෑව හෙලබදුගම ප්‍රදේශයේ කුඹුරු යායකදී උදැල්ලකින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ.

කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් වූ ආරවුලක් දුර දිග යාමෙන් සැකකරු වෙල් යායේදී අඹු සැමි යුවලකට උදැල්ලෙන් පහර දී ඇති අතර බරපතළ තුවාල ලැබූ පිරිමි පුද්ගලයා ගල්නෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ.

මියගොස් ඇත්තේ හෙලබදුගම ප්‍රදේශයේම පදිංචි 72 හැවිරිදි පුද්ගලයකු වන අතර තුවාල ලබා ඇත්තේ එම පුද්ගලයාගේ බිරිද වන 65 හැවිරිදි කාන්තාවක් බවට අනාවරණය වේ.

ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචි 60 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කැකිරාව මහේස්ත්‍රාත්වරයා විසින් මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර අනුරාධපුර රෝහලට යොමු කර තිබේ.

ගල්නෑව පොලිසිය මේ පිළිබඳව විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version