ඉතා අනතුරුදායක පාලම් 30ක් තිබුණත් ඒවා යළි සෑදීමට මූල්‍ය ප්‍රතිපාදන නෑ-කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන

ඉතා අනතුරුදායක පාලම් 30ක් රට පුරා තිබෙන බවට ගණනය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඒවා ඉතාම අනතුරුදායක පාලම් වන අතර, ඒවා යළි සෑදීමට පවතින මූල්‍ය තුළ අවස්ථාවක් නැති බවත් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් නොගෙවා පාලම් සෑදිය නොහැකි බවත් ඇමැතිවරයා කීවේය.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාලමක් බර වාහනයක් සමඟ කඩාවැටීමෙන් ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වුණු බව පැවසූ ඒ මහතා ප්‍රවාහන විෂය භාර ඇමැතිවරයා ලෙස තමා තාවකාලික පාලමක් ඇති කිරීමට කාර්ය මණ්ඩලය සහ ඉංජිනේරුවන් ඒ ස්ථානයට යොමු කළ බව කියා සිටියේය. එහෙත් නව පාලමක් ඉදි කිරීමට මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම ගැටලුවක් බවද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

පුනරාවර්තන වියදම් දරා ගැනීමට තරම්වත් මුදලක් ආණ්ඩුවට ආදායම වශයෙන් නොලැබෙන බව පැවසූ ඇමැතිවරයා නීරස වුවද පිළිගත යුතු සත්‍යය වනුයේ කුමන ජනාධිපතිවරයකු හෝ කවර ආණ්ඩුවක් යටතේ වුවද රාජ්‍ය මූල්‍යයේ ලැබෙන මුදල් සහ දරන වියදම් කළමනාකරණයේ දීර්ඝ කාලීන ගැටලුවට විසඳුම් ක්‍රමයෙන් සොයාගත යුතු බව සඳහන් කළේය.


(දිනමිණ)

Exit mobile version