ඉදිරි දින 14 ඉතාමත් අවදානම්-උපුල් රෝහණ

ඉදිරි දින 14 ක කාලපරිච්ඡේදය තුළ කොවිඩ් මර්දනය සඳහා කුමන ක්‍රියාමාර්ග ගත්ත ද ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කළ නොහැකි තත්ත්වයට පත්වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය අංශයට දරාගත නොහැකි අන්දමින් රෝගීන් වැඩි වීම කඩිනමින් පාලනය කළ යුතු බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ උපුල් රෝහණ මහතා,

“ඉදිරි දින 14 තුළ මේ තත්ත්වය අපි මොනවා කරත් ඉතා සීඝ්‍රයෙන් ඉහළ යනවා රෝගීන් සහ මරණ සංඛ්‍යාව.ඒ නිසා රෝහල් හා සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ලෙස රෝගීන් වැඩි වීම කඩිනමින් පාලනය කළ යුතු වෙනවා.ආර්ථිකය සමග කළමනාකරණය කර ගැනීම සඳහා ආර්ථික හානිය අවම වන විදියට සියලුම සමාජ ඒකරාශීවීම් නැවැත්වීමට සිදුවෙනවා.දිස්ත්‍රික්ක හා පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු වෙනවා.ඒ වගේම අනවශ්‍ය ලෙස ආයතනවලට සේවකයින් ගෙන්වීම වහාම අත්හිටුවිය යුතුයි.රෝගීන් වැඩිවීම පාලනය කර ගත්තේ නැත්නම් ව්‍යවසනයකට තල්ලු වෙනවා.අපි ක්‍රියාමාර්ග ගන්න පහුවෙන හැම මොහොතක් පාසා ම ජීවිත කිහිපයක් බිළිගන්න එක තමා වෙන්නේ.ඒ නිසා එහි වගකීම අපි සියලුදෙනා සතු වෙනවා.”

මේ වන විට ශ්‍රී ලංකාව තුළ උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් එතුමා තවදුරටත් ප්‍රකාශ කළේ, බිම් මට්ටමේ වාර්තා වන මරණ හා ආසාදිතයින් සංඛ්‍යාව නිවැරදිව මහජනයා අතරට නොයෑම නිසා ඔවුන්ට මේ පිළිබඳව බියක් හෝ නිසි අවබෝධයක් නොමැති වීම ද බරපතල ගැටලුවක් වී ඇති බවයි.

Exit mobile version