ඉදිරි පැය කිහිපයේදිත් තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද (25) දහවල් 12ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් ඉදිරි පැය කිහිපය පිළිබඳව සඳහන් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ, නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුළු වී ඇති බවයි.

එමෙන්ම හෙට (26) දින එය ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

එසේම ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි අතර දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී 40 – 50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

තවද ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදුවන අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Exit mobile version