ඉන්ධන පිරවුම්හල් වල ඉන්න ෆෝන් හොරු.

ඉන්ධන පිරවුම්හල්වලදී ඉන්ධන ලබා ගැනිමට QR කේතයන් පරීක්ෂා කිරීම සදහා යොදා ගන්නා ස්මාට් ජංගම දුරකථන සොරා ගත් පුද්ගලයින් දෙදෙනෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම සැකකරුවන් දෙදෙනා බත්තරමුල්ල ඉන්ධන පිරවුම්හලකදී ජංගම දුරකථනයක් සොරකම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් තලංගම පොලීසියට ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී මෙසේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කියයි.

පසුගිය ජනවාරි 25 වනදා සිට මෙම සැකකරුවන් දෙදෙනා මහරගම , කොට්ටාව , රාජගිරිය , පිළියන්දල ආදී පොලිස් වසම් 8 ක ඉන්ධන පිරවුම්හල් 12කින් ජංගම දුරකථන 12 ක් සොරා ගෙන ඇති අතර මෙම සොරකම් සිදු කර ඇත්තේ විවිධ යතුරුපැදි යොදා ගනිමින් බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව කියයි.

මොවුන් මත්ද්‍රව්‍ය වලට අධික ලෙස ඇබ්බැහි වූ පුද්ගලයින් බව වාර්තා වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා හෝමාගම සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 24 , 25 වයසේ පසුවන තරුණයන් දෙදෙනෙකු බව කියයි.

මොවුන් දෙදෙනාගේ සොරකම් ඉන්ධන පිරවුම්හලක සවි කර තිබු CCTV කැමරාවක සටහන්ව තිබූ අතර සැකකරුවන් දෙදෙනා අද (17) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව කියයි .

Exit mobile version