ඉල්මනයිට් නිධිය විකිණීමට විරෝධය පෑම නිසා සභාපති ඉවත්කරලා. විශ්‍රාමික හමුදා ලොක්කෙක් පිටුපස.

පුත්තලම ඉලමනයිට් නිදිය යනු රොකට් යැවීම සදහා විශේෂ සුදුසුකම් සහිත ප්‍රදේශයක් බව නාසා ආයතනය හදුනාගෙන තිබේ. නමුත් මෙම විශේෂිත නිධිය ඕස්ට්‍රේලියානු සමාගමකට කුණු කොල්ලයකට විකිණීමට යන බව ඊයේ (10) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර තිබුනේ  සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති ගාමිණි ඒකනායක මහතාය. මෙම ඉඩම මෙම සමාගමට විකිණීම සදහා අවශ්‍ය පිඹුරුපත් සැකසෙන්නේ මීට අවුරුදු කිහිපයකට පෙරය. මෙම ඉඩම විකිණීමට විරෝදය පෑම හේතුවෙන් ගාමිණි ඒකනායක මහතා සභාපතිකමෙන් ඉවත් කර තිබේ.

මෙම විකිණීමෙන් ශ්‍රී ලංකාවට සිදුවන පාඩුව අති දැවැන්ත වන අතර අදාළ ලිපිගොනුව පරීක්ෂා කිරීමේදී පහත දැක්වෙන ප්‍රධාන කරුණු අනාවරණය වේ.

ශ්‍රී ලංකාවේ  සීමෙන්ති සමාගමට අයිතිව තිබුණේ කන්කසන්තුරේ,පුත්තලම සහ ගාල්ල යන කර්මාන්ත ශාලාය. මෙහිදි පුත්තලම සහ ගාල්ල සිමෙන්ති කර්මාන්ත ශාලා 1993 දී විකුණා දැමුණි. කන්කසන්තුරේ කර්මාන්ත ශාලාව යුද්ධය නිසා ක්‍රියාත්මක වෙන්නේ නැත. නමුත් එහි යකඩ කපා දැමුයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල ලොකු ලොක්කන් බව අප මීට පෙර අනාවරණය කරන ලදී. එහි යකඩ කපා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් වැරදි කරු වූ උසස් හමුදා නිලධාරියාද (විශ්‍රාමික) මෙම විකිණීම පිටුපස සිටීම ඛේදනීයම වේ.

පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාව විකුණා දැමුවත් සිමෙන්ති කර්මාන්ත ශාලාවට අමුද්‍රව්‍ය සපයාගත් ඉඩම පැවතියේ සිමෙන්ති සංස්ථාව සතුවය. එම ඉඩම අරුවක්කාලු ප්‍රදේශයේ පිහිටි අතර එය අක්කර 5352ක විශාලත්වයෙන් යුත්තය. මෙම ඉඩම සිමෙන්ති සංස්ථාවට පවරා ඇත්තේ 1977 සැප්තැම්බර් 20 වැනි අඟහරුවාදා අංක 283/2 යන අති විශේෂ ගැසට් පත්‍රයෙනි. මෙම ඉඩම රජයෙන් දී ඇත්තේ සිමෙන්ති නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීමටය.

       පුත්තලම අරුවක්කාලු පිහිටි මෙම ඉඩමේ සිමෙන්ති හැදීමට හුණුගල් කැණීම් කිරිමේදි රතු පාට පස් තට්ටුවක් දැක ගත හැකිය. එම පසේ ඇත්තේ ඉල්මනයිට්ය. එම පසේ තවත් බනිජ වර්ග රැසක්ම අඩංගු බව මේ වෙන විට සොයා ගෙන ඇත. එය මිලෙන් අධිකය. මෙය ලංකාවට ඩොලර් ගෙනෙන උල්පතකි. නමුත් දැන් ඇති ගැටලුව වන්නේ එවැනි වටිනා බනිජ සම්පත් ඇති පසක් ඉතා අඩු මිලට කුණු කොල්ලයට ඕස්ට්‍රේලියානු සමාගමකට විකුණා දැමීමට පිඹුරුපත් සැකසීමයි.

ඒ සදහා අවශ්‍ය කටයුතු සැලසුම් වී තිබෙන්නේ 2013 වර්ෂයේ සිටය. ඒ සදහා අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ම සිදුකර තිබේ. ඒ සදහා දූෂිත රාජ්‍ය නිලධාරීන් මූලිකත්වය ගෙන තිබෙන අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවා මෙයට විරුද්ධව තිබේ.

ශ්‍රී ලංකාවේ සියලුම ව්‍යාපාර මේ වන විට බිඳවැටෙමින් පවතී. තේ, රබර් ආදායම පවා අහිමි වෙමින් පවතී. එහෙත් වගකිව යුතු අමාත්‍යවරු නිහඩය. එසේත් නැතිනම් සිදුවෙමින් පවතින විනාශය අමාත්‍යවරුන් දැනුවත්ව නැත. සංචාරක ව්‍යාපාරය ගැන පමණක් සිහින දකිමින් මේ වැනසෙන්නේ, විනාශ කරන්නේ ශ්‍රී ලංකාවය.

Exit mobile version