ඊශ්‍රායල් පලස්තීන ගැටුමට මාසයක් , භූගත කඳවුරක් ගැන තොරතුරු

ඔක්තෝබර් 7 වනදා හමාස් සාමාජිකයින් ඊශ්‍රායල ගම්මානවලට ඇතුළු වී සිදුකළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය තවමත් ගාසා තීරය වෙත නොනැවතී ගුවනින් ප්‍රහාර එල්ල කරමින් සිටින බවට වාර්තා වේ.ඒ පලස්තීන දරුවන් ඇතුළු දස දහසකට පමණ ජීවිත අහිමි කරමිනි.

ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී මාසයක් ගතවී තිබිය දී ගාසා හි උතුරු කලාපය හුදකලා කර වටකරගැනීමට තමන්ට හැකිවූ බව ඊශ්‍රායල හමුදා නිවේදනය කර තිබේ.

ඒ, ගාසා තීරයේ ගැටුම් සමනය කිරීමේ අරමුණින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරතවන පසුබිමකය.

ගොඩබිමින් ද ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායල හමුදා අද (06) නිවේදනය කළේ, ගාසා තීරය කොටස් දෙකකට වෙන්කර උතුරු ගාසාව හුදකලා කිරීමට තමන්ට හැකිවූ බවය.

මේ සමඟ උතුරු ගාසා කලාපයට එල්ල කරන ප්‍රහාර ද ඔවුන් තවත් තීව්‍ර කර ඇති බව පැවසේ.

ප්‍රහාරය අතරතුර හමාස් සංවිධානයට අයත් භූගත කඳවුරු සංකීර්ණයක් සොයාගත් බවත් ඔවුන්ට අනුව එය පිහිටා ඇත්තේ ගාසා හි රෝහල්වලට පහළින් බව වාර්තා වේ.

මේ අතර ප්‍රහාරවලට සමගාමීව ගාසා හි සන්නිවේදන පහසුකම් මුළුමනින්ම අවහිර වී තිබේ.

ඒ අනුව එහි දුරකථන සහ අන්තර්ජාල සේවා සියල්ල ක්‍රියාත්මක නොවන බව සඳහන් වේ.

දැනටත් උතුරු ගාසාහි ලක්ෂ 4ක පමණ සිවිල් වැසියන් පිරිසක් රැඳීම හේතුවෙන් ඊශ්‍රායලයේ මෙම ප්‍රහාර ලෝක ප්‍රජාවගේ දැඩි විරෝධයට ලක්ව තිබේ.

කෙසේ නමුත් ඊශ්‍රායලය පෙන්වා දෙන්නේ සිවිල් වැසියන්ට දකුණු කලාපය වෙත ඉවත්වයාමට අවශ්‍ය මානුෂීය කොරිඩෝව විවෘත කර ඇති බවය.

ගාසා තීරයේ සටන් විරාමයක් ඇතිකිරීමට මේ වනවිට අමෙරිකාව පවා උත්සහ දරමින් සිටින බවත් එරට රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් මේ වනවිට මැදපෙරදිග සංචාරයක නිරතවන්නේ එහි එක් පියවරක් ලෙස බව තවදුරටත් වාර්තා වෙයි.

ඒ අනුව ඔහු ඊයේ බටහිර ඉවුර වෙත හදිසි සංචාරයක නිරතවෙමින් පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් හමු වූ අතර එහිදී අබ්බාස් පවසා තිබුණේ මේ වනවිට ගාසා හි සිදුවන වාර්ගික සමූල ඝාතනයක් සිදුවන බවය.

මේ අතර බ්ලින්කින්ගේ සංචාරයට එරෙහිව බටහිර ඉවුරේ විරෝධතා ද පවත්වා තිබේ.

Exit mobile version