උඩරට නිදහස් අරගලය හෙවත් 1818 ඌව වෙල්ලස්ස අරගලය ඉතිහාසයේ රන් අකුරින් ලියවී තිබේ. මේ අරගලයට නායකත්වය දුන් වීර මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව සහ වීර මඩුගල්ලේ දිසාව දැයෙන් සමුගෙන අදට ( 26) වැනි දිනට වසර 203 කි.
හිරු නොබසින අධිරාජ්‍යයට එරෙහිව 1817 වසරේ මැද භාගයේ මේ අරගලය මුලින්ම පැන නැඟුණේ බින්තැන්නේ ආදිවාසීන්ගෙන්ය. කොහුකුඹුරේ රටේරාළ සහ බූටාවේ රටේරාළ සමඟ කොටියා ලකුණ දරණ ඌව වෙල්ලස්ස කොඩිය අතින් ගත් කිවුලේගෙදර මොහොට්ටාල ඇතුළු ඌවේ සටන්කාමීන් හා එම සටන මර්දනය කිරීමට ඉංග්‍රීසි හමුදාවත් සමඟ පැමිණි මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව අලුපොත දී මුහුණට මුහුණලා හමු විය.
සිංහල සටන්කාමීහු මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවට චෝදනා නැඟූහ. අනතුරුව සිංහලයේ නාමයෙන් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව කෙරෙන සටනේ නායකත්වය භාරගන්නා ලෙස ඌවේ සටන්කාමීහු කැප්පෙටිපොළ මහ දිසාවට ඇරයුම් කළහ.
‘එය එසේ වේවා’යි හඬ නැඟූ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව බ්‍රිතාන්‍ය කතිර කොඩිය ඉංග්‍රීසි කපිතාන් අතට දී ‘තොපගේ මේ කොඩියත්, තොපගේ ආයුධත් රැගෙන ආපසු යනු. තොපගේ තුවක්කුවලින් තොපට පහරදීම සිංහලයන්ට මදිකමකි. කැප්පෙටිපොළ දිසාව ඉංග්‍රීසීන්ගෙන් සිංහලේ නිදහස් කරගැනීමට පිණිස සටන් වදින බව මහනුවර ඒජන්ත තැනට දන්වනු.’ යනුවෙන් කැප්පෙටිපොළ මහ දිසාව ගිගුරුවේය.
ඌව වෙල්ලස්සෙන් ඇරැඹුණු මේ සටන දියත් වුයේ ජාතියේ නිදහස පතාය. මේ සටන ලැව් ගින්නක් සේ මුළු රට පුරා පැතිර ගියේය. සටන ජයග්‍රාහී අරමුණ කරා ළඟාවෙද්දී උඩරට නිලමේවරුන් අතර පැවති මත ගැටුම් හේතුවෙන් සිංහලේ සටන්කාමීන්ට පසුබෑමට සිදු විය.
අනුරාධපුරයේ පුලියන්කුලමේ පිහිටි බ්‍රිතාන්‍ය යුද කඳවුරේ සිටි ලෙෆ්ටිනන්ට් විලියම් ඔනිල්ට ඔත්තුවක් ලැබී කහල්ල ගම් පියසේ දී 1818 ඔක්තෝබර් මස 28 වැනි දා කැප්පෙටිපොළ දිසාව බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අත්අඩංගුවට පත් විය. 1818 නොවැම්බර් මස 26 වැනි දින බෝගම්බර වැව අසල දී මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව සහ මඩුගල්ලේ මහ නිලමේතුමාගේ හිස ගසා දැමීමට නියම විය.
අඩුම තරමේ මලක් පහනක්වත් දැල් නොවුණු මේ වීරයා අවසන් හුස්ම හෙලු මේ විශිෂ්ඨ, වීරෝධාර ගෞරවාන්විත ස්ථානය අද පාලුවට ගොසිනි. එහෙත් ඒ වෙනුවෙන් රජය මැදිහත්වීමෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවය සහ ඥාතීන්ගේ උත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විණි. එහෙත් මහනුවර ජනතාවගේ මෙන්ම සියලු ශ්‍රී ලාංකිකයන් මේ විරුවා මරා දැමු ස්ථානය තුල වාර්ෂික සැමරීම සිදු කල යුතුය. එසේ නොමැතිව උත්සව පමණක් පවත්වා ස්මාරක විනාශ කිරීමෙන් ජාතියකට වීරත්වයක් ඇති නොවේ.
කැප්පෙටිපොළ දිසාව නිරතුරුවම තම ඉණෙහි සඟවාගෙන යන කුඩා පුස‍්කොළ පොතක ලියන ලද ධම්ම පදයක් භාවිත කළ බව මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් ලියන ලද උඩරට මහ කැරැල්ල පළමු කාණ්ඩය ග්‍රන්ථයේ සඳහන් වෙයි.
කැප්පෙටිපොළ මහ දිසාව ධම්මපද ගාථා ලියා තිබුණ පුංචි පුස්කොළ පොත අතට ගෙන එහි පේළි කිහිපයක් කියවා වධකයා දෙස බලා ‘බොල එක කඩු පහරින් මාගේ ගෙළ සිඳ දමව්.‘ කියා ඉතිපිසෝ භගවා අරහං යන පාඨය හඬනගා කියමින් හිස සමඟ ගෙළ දඬුකඳ මත තැබුවේය. කැප්පෙටිපොළ මහ දිසාවගේ මුවින් ‘අරහං‘ නම් වචනය පිට වෙනවාත් සමඟම ගහලයාගේ කඩු පහරට වෙන් වූ ඔහුගේ හිස උඩරට සිරිතට අනුව කැප්පෙටිපොළ දිසාවගේ ප්‍රාණයේ රශ්මිය පහව ගිය පසු පපුව මත තබන ලදී.
කැප්පෙටිපොළ දිසාවගේ හිස ගසා දමන මොහොත සම්බන්ධ පුවත සහ 1818 වෙල්ලස්ස නිදහස් කැරැල්ල ලෝක ඉතිහාසයේම රන් අකුරින් ලියැ වී තිබේ. කැප්පෙටිපොළ දිසාවගේ හිස එංගලන්තයට ගෙන ගොස් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කොට හිස් කබල එඩින්බරෝ කෞතුකාගාරයේ තැන්පත් කොට තිබී 1954 නොවැම්බර් මස 26 වැනි දා යළි ලංකාවට ගෙනැවිත් මහනුවර මහමළුවේ ශ්‍රී දළදා වහන්සේ අභිසෙස් තැන්පත් කර එහි ස්මාරකයක් ඉදි කර තිබේ.
කැප්පෙටිපොළ දිසාවගේ ජන්ම භූමිය මාතලේ දිසාවේ. උතුරු මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොණරවිල ග්‍රාමයයි. දිසාවගේ පියා රාජාධිරාජසිංහ රජු සමයේ දියවඩන නිලමේ ධුරය දැරූ ගොලහැල හෙවත් කැප්පෙටිපොළ නිලමේය.
ගොලහැල නිලමේ මොණරවිල කුමාරිහාමි සමඟ විවාහ විය. මේ දෙපළට දියණියක් සහ පුතුන් දෙදෙනකු වූහ. දියණිය ඇහැලේපොළ අධිකාරම්ගේ බිරිය වූ ඇහැලේපොළ කුමාරිහාමිය. වැඩිමහල් පුතා මොණරවිල කැප්පෙටිපොළ ය. මොණරවිල නාමය කැප්පෙටිපොළ දිසාවගේ මව් පරපුරේ නාමය විය. මවුපිය දෙදෙනාගේ පරපුර වෙනුවෙන් මොණරවිල කැප්පෙටිපොළ නමින් ඔහු ප්‍රකට විය.
මොණරවිල කැප්පෙටිපොළ දිසාවගේ බිරිය දෙල්වල කුමාරිහාමිය. මේ දෙපළට එක් පුතෙක් විය. මොණරවිල කැප්පෙටිපොළ දිසාව දැයෙන් සමුගැනීමට පෙර බිරියට ප්‍රකාශ කර සිටියේ මොණරවිල වලව්ව භික්ෂූන් වහන්සේලාට පූජා කොට දරුවා සමඟ කෑගල්ලේ දෙල්වල වලව්වට ගොස් තම මවුපියන් සමඟ ජීවත්වන ලෙසය.
කැප්පෙටිපොළ වලව්වේ ඉතිහාසය පිළිබඳව මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා උඩරට මහ කැරැල්ල පළමු වැනි කාණ්ඩය ග්‍රන්ථයෙහි සඳහන් කර තිබෙන අන්දමට මොණරවිල වලව්‍ව ඉංග්‍රීසීන් රාජසන්තක කර තිබේ. පසුව ඉංග්‍රීසි පාලකයන්ගේ උදහසට ලක්ව මෙහි දේපළ විනාශයට ලක්ව ඇත. අද වලව්වේ ගල් කණු කිහිපයක් පමණක් පවතින අයුරු එහි ගිය අපට දැකගැනීමට ලැබුණි. මොණරවිල දිසාව විසින් පල්ලේපොළ වේළුවනාරාම භූමියේ ඉදි කරන ලද බුදු කුටිය අදත් දැක ගත හැකිය.
මොණරවිල කැප්පෙටිපොළ දිසාව මාතලේ දිසාව භාරව රාජකාරි කරද්දී වාසය කර ඇත්තේ මොණරවිල ගම් පියසෙහිය. රාජකාරියට මහනුවර රජවාසල වෙත යාමේ දී අතරමඟ නැවතී ගිමන් හැරීම පිණිස මාතලේ හුලංගමුව ගමේ ඉදි කරන ලද වලව්ව අදත් විද්‍යමානව පවතී. නමුත් මේ වන විට මේ වලව්වද දිරාපත්වෙමින් පවතින අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇස් ඇරී ඇති බවක් තවමත් දක්නට නැත.
මොණරවිල කැප්පෙටිපොළ දිසාව ඉංග්‍රීසි පාලකයන්ගේ උදහසට ලක්වීම නිසා ඔහුගේ එකම පුතාට කිසිම රාජ්‍ය නිලතලයක් ලැබී නැත. ඔහුගේ මුණුබුරෙක් වූ මුතුබණ්ඩා මොණරවිල කැප්පෙටිපොළට මාතලේ දිසාව තනතුර ලැබිණ. එම දිසාව විසින් හුලංගමුවේ පිහිටි කැප්පෙටිපොළ වලව්ව ප්‍රතිසංස්කරණය කර එහි පදිංචි වී ඇති බව ඉතිහාසයේ සඳහන් වෙයි.
දෙවැනි මොණරවිල කැප්පෙටිපොළ දිසාව මේ වලව්ව නඩු ඇසීමට ද යොදාගෙන තිබේ. ස්වකීය පුතණුවන්ගේ විවාහ මංගල්‍ය නිමිති කර මේ වලව්ව වැඩි දියුණු කර තිබේ. මේ වලව්ව කිහිපවරක්ම වැඩිදියුණු කර ඇත.
හුලංගමුව ගමේ පර්චස් 120 ක පමණ භූමි භාගයක ඉදි කර තිබෙන මේ වලව්ව කාමර 16 කින් යුක්තය. හෙළ ගෘහ නිර්මාණ කලාවේ අනගි නිපයුම් මෙහි දක්නට තිබේ. 18 වැනි ශත වර්ෂයේ උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ සම්ප්‍රදායන් මෙහි පිළිබිඹු කරයි.
ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කරද්දී උතුරු ඉන්දියාවෙන් පැමිණි ලම්භකර්ණ කුල වංශයට අයත් පරම්පරාවෙන් පැවත එන පරපුරක් ලෙස මඩුගල්ලේ පරපුර හැඳින්වෙන බව ජනශ්‍රැතියේ සඳහන් වෙයි. මඬුගල්ලේ රාජපක්ෂ මුදලි ක්‍රි. ව. 1638 දී උඩුදුම්බර රටේ රාළ මහත්තයාය. වීර මඬුගල්ලේ ජාතික වීරයාද එම පරපුරෙන් පැවත එන්නකි.
වීර මඬුගල්ලේ නිලමේගේ ජන්ම භූමිය උඩුදුම්බර බටහිර ගම්පහ කෝරළේ පිහිටි මඬුගල්ලේ ග්‍රාමයයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයෙන් උඩරට බේරාගැනීමට සටන 1817 සහ 1818 ඌව වෙල්ලස්සෙන් ඇරැඹුණු අතර, සෙංකඩගල නිලමේවරුන් ආරම්භ කළ අරගලයට නායකත්වය දුන්නේ වීර මඬුගල්ලේ සහ ඇල්ලේපොළ නිලමේවරුන් දෙදෙනා විසින්ය. මඬුගල්ලේ නිලමේගේ මෙහෙයවීමෙන් දුම්බර සහ වලපනේ ප්‍රදේශවල සටන් ආරම්භ විය.
මේ වීර සෙන්පතියන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව අභීතව සටන් කරද්දී ඉංග්‍රීසි හමුදාව විසින් ඇලහැර දී අත්අඩංගුවට ගෙන තිබේ. වීර කැප්පෙටිපොළ දිසාවේ සහ වීර මඬුගල්ලේ දිසාව ඥාතීන් වශයෙන් දෙමස්සිනන්ය. මේ විරුවන් දෙදෙනා මහනුවර බෝගම්බර වැව අසල දී දංගෙඩියට හිස තබා රට දැය වෙනුවෙන් ජීවිත පූජා කළේ 1818 නොවැම්බර් මස 26 වැනිදාය.
මේ සියල්ල එසේ එදා සිදු විය. ජාතියේ මහා පාවා දීමේ ප්‍රතිපලය අදද අප ඇත විදිමින් සිටිමි. ජාත්‍යාලය නොමැති ජාතියක් අපට උරුම වෙමින් පවතී. බොහෝ ඓතිහාසික ස්ථාන මහා කළු සිංහලයන්ම විනාශ කරමින්, බුදු දහම විනාශ කිරීමේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාව අද ද සිදු කරමින් පවතින්නේ අපගේම අවාසනාවටය.
එබැවින් ජාතියක් වෙනුවෙන් දිවි පිදු, රටක් වෙනුවෙන් දිවි පිදු ජාතික වීරවරයන් සැමරිය යුත්තේ තවත් චිරාත්කාලයක් මේ ලක් දෙරණේ රව් පිළිරැව් දෙන ලෙසය. අනාගත පරපුර වෙනුවෙන් ජාත්‍යාලය ඇති කිරීමට නම් හැගීමක් ඇති කල යුතුය. එසේ හැගීමක් තිබුනේ නම් අද රාජ්‍ය උත්සවය පවත්වන විට අපේ රටේ පුරවැසියන් එතුමා මරා දැමු ස්ථානය තුලද එතුමා අනුමස්මරණය කිරීම කල යුතුය. එසේ නොමැතිව ස්මාරකයට පමණක් අනුස්මරණය කිරීමෙන් ජාත්‍යාලය ඇති නොවේ.