උසස් පෙළ විකුණා විදුලිය කපයි!. රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක්.

අප සෑම දිනයකම ලියන්නා සේ මේ රට ගොඩනැගීමට පාලක පන්තියට හෝ රාජ්‍ය පරිපාලන ශ්‍රේණියේ ඉහල නිලධාරීන්ට අවශ්‍යතාවයක් නැත. ඔවුන්ට අවශ්‍ය රටේ මානව සම්පත ගව සම්පතක් බවට පත් කර ගොපල්ලන් වීමටය. රට විනාශ කිරීමේ පාපය ඔවුන්ට මේ අත්මෙදීම පලිසන් දෙන්නේ ඔවුන්ගේ විශ්‍රමයෙන් පසුවය. එසේත් නොමැති නම්  විවිධ ලෙඩ රෝග හෝ ප්‍රශ්නවලින් මිරිකෙන විටය. එසේත් නොමැතිනම් බින්දුවට රට වැටුණු පසු ඔවුන්ටද වැටුප් හෝ විශ්‍රාමය නොලැබෙන විටය.

එබැවින් පාලකයන් ගැන ලියන්නට අමුතුවෙන් දෙයක් නැත. බඳු වලින් ජනතාව පීඩාවට පත්කරමින් විදුලි බිලද වැඩි කිරීමෙන් අනතුරුව ජීවත් වීමට නොහැකි මිනිසුන් දහස් ගනනාවක් නැවතත් පාරට බසින බව නම් ඒකාන්තය. එය නැවත හැරවීමට ඔවුන්ට ඉඩක් නොලැබෙන බවද දක්නට තිබේ. ජීවත් වන්නට නොහැකි නම් හිරේ යාමට බලාගෙන හෝ ඔවුන් මහපාරට බසිනු ඇත. එසේම රජය ආරක්ෂක අංශ යොදා ඒවා පාලනය කිරීමට යාමෙන් දැවැන්ත විනාශයන් ලියවෙනු ඇත.

මේ දිනවල උසස්පෙළ සහ විශ්වවිද්‍යාල දරුවන්ගේ විභාග පැවැත්වේ. ඊයේ ප්‍රකාශ කලේ අද සිට විදුලිය නොකපන බවය. එහෙත් අදත් සුපුරුදු පරිදි විදුලිය කප්පාදු කළේය. මේ සියල්ලම යට තිබෙන්නේ කුමන ආකාරයක ක්‍රීඩාවක්ද යන්න දන්නේ මේ සැලසුම් වල සිටින පුද්ගලයන්ය.

මේ වන විට රටේ පවතින ආර්ථික ගැටළු නිසා ආරක්ෂක අංශවලටද රට එපා වී තිබේ. වෙනදා රුපියල් දස දහසෙන් සිදුකල දේ දැන් කිරිමට නම් රුපියල් තිස් දහසක් අවශ්‍ය වේ. රුපියල් 60 ට ගිය බස් ගාස්තුව දැන් රුපියල් 220 ක්  වී තිබේ. මේ ලියන ලියුම්කරුගේ බස් ගාස්තුව එසේය. කාර්යාලයට පැමිණීමට 220 ක් සහ නැවත යාමට 220 ක් බැගින් රුපියල් 440 කි. වෙනදා රුපියල් 120 කි. වැඩි වීම රුපියල් 320 කි. මාසයකට 2400 ක් බස් ගාස්තු ලෙස වැය කල ලියුම්කරුගේ දැන් බස් ගාස්තුව 13400 කි. වැඩි වීම එකොලොස් දහසකි. මේවා නොතේරෙන රජයට මේ රට ඉදිරියට ගෙන යාමට නොහැකිබව දැනටමත් දක්නට තිබේ.

විදුලි බිල වැඩි වීමත් සමගම කර්මාන්ත ශාලා වැසි යනු ඇත. තව තවත් ජනතාව කුපිත වනු ඇත්තේ රැකියා අහිමි වීමත්, කුස ගින්නත් නිසාය. එබැවින් මහපාරට එන ජනතාව පාලනය කිරීමට සිදුවනු ඇත්තේ රතුපස්වල වතුර ඉල්ලූ ජනතාවට වෙඩි තැබූ ආකාරයටය. එය මෙරට ඉතිහාසයේ රටේ පාලකයන් විසින් කුසගින්නේ සිටින මිනිසුන් මරා දැමු ඛේදනීයම සිදුවීම වනු ඇත. එහි අවසන් ප්‍රතිපලය ලෙස සමහර විට රටේ ජනාධිපතිවරයාට එරෙහි වීමට මෙරට හමුදා නායකයන්ටද සිදුවනු ඇත. රට තුල සමූල ඝාතනයන්ට ඉඩක් තැබීමට විදේශීය ශ්‍රී ලාංකිකයන් ඉඩක් නොතබනු ඇත. එබැවින් මේ ගෙවී යන්නේ තවත් විනාශකාරී කාලයක් ආරම්භ කෙරෙන යුගයක් වෙත බව දැන් දැන් දක්නට තිබේ. එබැවින් රට ගොඩනගන්න ජනාධිපතිවරයා සහ ඔහුගේ සඟයන්ට අවශ්‍ය වන්නේ නම් මේ ආකාරයෙන් රටේ ජනතාවගේ පිට බඳු බර තැබීම නැවතිය යුතුය. ජනතාවගෙන් පලිගන්නා අකාරයෙන් රට පාලනය කිරීම නැවැත්විය යුතුය. එසේ නොමැතිව මේ ආකාරයෙන් රට පාලනය කරමින් ජනතාව තව දුරටත් පීඩාවට පත්කිරීම රනිල් වික්‍රමසිංහ මහතා තනිවී තවත් විනාශයක් වෙත රට ගමන් කරනු ඇත.

මා මේ ආකාරයෙන්ම 2022 මැයි මාසයේද ලිය තිබේ. ඒ “ගෝඨාභයටත් ගඩාෆිට වූ දේම වෙන ලකුණු” ලෙසය. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට එසේ කීමට තවමත් කල් වැඩිය. ඔහු රට පාලනය කරනුයේ අමුතුම අකාරයේ ක්‍රීඩාවකින් නම් එය එසේ නොවනු ඇත. මා දකිනා එම ක්‍රීඩාව වන්නේ සියලුම පක්ෂ එකට එකතු කරගනිමින් මේ සියල්ලම සිදුවන බව පෙනීමය. පක්ෂ නායකයන් පාරට පැමිණෙන්නේ නොමැතිව ජනතාව පාරට නොපැමිණෙනු ඇත යන්න මා විශ්වාස කරමි. සමාජය තුල තත්වය එසේය. නමුත් මේ සියල්ලම සිදුවන්නේ ඔවුන් සමග රහසිගත එකගතාවයකින් නොවේ නම් ඒකාන්තයෙන්ම, ගෝඨාභයටත් වඩා දරුණු හානියක් රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවීම” වැලැක්විය නොහැකි වනු ඇත. ඒ කෙසේ වෙතත් මෙවර පීඩිත පන්තිය පක්ෂ නායකයන් නොමැතිව වුවද පාරට බසිනු ඇතිබව සිතීමට ඕනා තරම් සාධක තිබේ. එබැවින් රනිල් වික්‍රමසිංහ මහතාට කටයුතු කලයුත්තේ මූලිකවම ජනතාවගේ දුක්ඛිත තත්වය හදුනාගෙනය.

ශ්‍රී නිශ්ශංක මායාදුන්න – 0717538677

Exit mobile version