එකම හොරකමේ “තෝරාට ඒක නීතියක්”!. “හාල් මැස්සාට” තවත් නීතියක්!. රේගුවේ ප්‍රධානීන් උපන් ඇදුමෙන්!

ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සේවකයෙකු විසින් සිය යට ඇදුමේ සඟවාගෙන නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළින් පිටකිරීමට තැත් කළ රුපියල් දහහත් කෝටි හැට ලක්ෂයක් වටිනා රන් බිස්කට් 66 ක් පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයකු විසින් පැවැත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසයි.

එහිදී මෙම රන් බිස්කට් සියල්ල රාජසන්තක කර ඔහුට රුපියල් දහ හත් කෝටි හැට ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ .

මෙම දඩ මුදල ගෙවීමට ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සේවකයා අපොහොසත් වීම නිසා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ .

එහිදී මෙම පුද්ගලයා එළඹෙන 2024 වසරේ ජනවාරි මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මෙලෙස කේටරින් සමාගමේ සේවකයාට රේගුව විසින් අදාළ රත්‍රන් තොගයේ වටිනාකමටම දඩ මුදලක් නියම කළද, පසුගිය වසරේ රට තුළට හොර රහසේ රත්‍රන් බිස්කට් ගෙන ඒමට උත්සාහ කළ අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අනුගමනය කර තිබුණේ වෙනත් ප්‍රතිපත්තියකි.

රහසිගත ලෙස රත්‍රං සහ ස්මාර්ට් ජංගම දුරකථන රැගෙන ඒමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් 2023 මැයි 23 කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ රේගු නිලධාරීන් විසින් රඳවා ගනු ලැබූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට දඩ නියම කර මුදාහැර තිබිණි.

රේගු මාධ්‍ය ඒකකය සඳහන් කළේ, මන්ත්‍රීවරයාට රුපියල් මිලියන ලක්ෂ 75ක දඩයක් නියම කර, අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට නියෝග කළ බවයි.

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එනු ලැබූ රත්‍රන් තොගයේ වටිනාකම රුපියල් මිලියන කෝටි 7.4ක් බවට ගණන් බලා තිබිණි.

මන්ත්‍රීවරයා විසින් ජංගම දුරකථන 91ක්ද රැගෙන විත් ඇති අතර එම දුරකථනවල වටිනාකම රුපියල් මිලියන 4.2ක් බව ශ්‍රී ලංකා රේගුව අනාවරණය කර තිබිණි.

ඒ අනුව, අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා විසින් මෙරටට නීතිවිරෝධී රැගෙන විත් ඇති භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් කෝටි 7.82ක් ලෙස ගණන් බලා ඇත. (ceylonwire)

Exit mobile version