.එළාර – දුටුගැමුණු යුද්ධයට සේනාව රැස්කළ ස්ථානයක් !. බදුල්ලෙන් අළුත් ඉතිහාස කතාවක්!

දායක සභාවෙන් කැණීම් වැඩට ලක්ෂ 11ක්

බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාගදීප පුරාණ රජ මහා විහාරය කාවන්තිස්ස රජ සමයේ ඉදි කර ඇති බවටත් පසුව දුටුගැමුණු රජු මෙම ස්ථානය වැඩි දියුණු කර එළාර සමඟ පැවති යුද්ධයට සේනාව රැස් කළ ස්ථානයක් බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

නාගදීප විහාරස්ථානය පිළිබඳව මුල්වරට පුරාවිද්‍යා අවධානය ලැබී ඇත්තේ 1989 මහියංගණ ගම් උදාව ඉදි වූ වකවානුව තුළ බවත් එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් රෝලන්ට් සිල්වා මහතා විසින් ඔරුවක නැඟීවිත් මෙම භූමිය නිරීක්ෂණය කිරීමේදි මෙම විහාරයේ පැරණි සංඝයාවාසය ඉදි කර ඇත්තේ පැරණි පිළිම ගෙය උඩ බවත් එම පිළිම ගෙය පොළවට යට වී ඇති බවට නිරීක්ෂණය වීමත් සමඟ මෙම ස්ථානයේ කැණීම් කර එම පිළිම ගෙය තුළ ඇති පිළිම වහන්සේ සහ ඉතිහාසය ගැන සෙවීම ආරම්භ වූ නමුත් විවිධ හේතූන් නිසා එය මඟ හැරී ගොස් ඇති අතර නැවත මෙම ස්ථානයේ 2009 වර්ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් කැණීම් ආරම්භ කළ නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීමෙන් එය මඟ හැරී ගොස් තිබිණ. නාගදීප පුරාණ රජ මහා විහාරයේ විහාරධිපති ඇල්ලේවෙල විමලානන්ද හිමිගේ අනුශාසනා පරිදි නාගදීප විහාරස්ථානයේ භාරකාර කොටගම මේධානන්ද ස්වාමින් වහන්සේගේ මැදිහත් වීමෙන් නාගදීප විහාරස්ථානයේ දායක සභාව සහ ප්‍රදේශවාසීන් එක්ව කැණීම් කටයුතු සඳහා ඇස්තමේන්තු මුදල වන රුපියල් ලක්ෂ 11ක මුදලක් ප්‍රදේශවාසින්ගෙන් එකතු කර භාරදීමෙන් අනතුරුව මෙම කැණීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර මෙම ස්ථානයේ කැණීම් කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ සාකච්ඡාවක් ඉකුත් දා (05) බදුල්ල සහකාර පුරාවිද්‍යා කොමසාරිස් ඉනෝකා බාලසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

බදුල්ල සහකාර පුරාවිද්‍යා කොමසාරිස් ඉනෝකා බාලසූරිය මහත්මිය පැවසුවේ, මෙම ස්ථානයේ කැණීම් කටයුතු ලබන 19 වැනිදා මූලික වශයෙන් ආරම්භ කරන බවත් ලබන 20 වැනිදා සිට කැණීම් කටයුතු සිදු කරන බවත් පැවසූ අතර ඉතා සූක්ෂ්මව අදියරෙන් අදියරට කැණීම් සිදු කරන බවත් එම කැණීම් සඳහා පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, විහාරස්ථානය සහ අවට ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ඉතා විනිවිදභාවයකින් කැණීම් සිදු කරන අතර යම්කිසි නීති රාමුවක් යටතේ පාසල් සිසුන්ටද මහජනතාවටද මෙම කැණීම් කටයුතු දැක බලා ගැනීමට අවස්ථාව සලසා දෙන බවද සහකාර පුරාවිද්‍යා කොමසාරිස්වරිය පැවසුවාය. එමෙන්ම මාධ්‍ය වෙත තොරතුරු දීමේ බලයක් නොමැති බැවින් මෙම කැණිම් ආරම්භ කිරීම ගැන මාධ්‍ය තුළ පුවත් පළ කිරීම ගැන බාධාවක් නොමැති හෙයින් කැණිම් පිළිබඳව වාර්තා කිරීමට පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් අවසර ගෙන එම ස්ථානයේ වාර්තා කටයුතුවල යෙදෙන මෙන් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියාය.
(දිනමිණ)

Exit mobile version