ඔබ නොදැකි මිනි කරත්තයක්

මිනි කරත්ත අතීතයේ දී භාවිත කළ බවට අසා තිබුණ ද අප කෙදිනකවත් එය දැක තිබුණේ නැත.ඇතැම්විට මිනි කරත්තයක් පිළිබදව මේ වන තෙක් අහලවත් නොමැති සමහරෙක් සිටිය හැක‍.

ක්‍රමක්‍රමයෙන් නවීකරණය වූ ලොවක් තුළ මේ වන විට මිනි කරත්තය වෙනුවට භාවිත කරනු ලබන්නේ මළ සිරුරු රැගෙන යන රථයකි.එය අප සාමාන්‍යයෙන් හදුන්වනු ලබන්නේ හර්ස් එකක් වශයෙනි.අතීතයේ දී පැවති පටු මාර්ග හරහා රැගෙන යාමට පහසු ආකාරයට මෙම මිනි කරත්ත සකසා තිබී ඇත.කෙතරම් නවීකරණය වූවද ශ්‍රී ලංකාවේ මිනි කරත්තයක් තබා මිනි පෙට්ටියක් කර තබාගෙන යාමට හෝ හැකි මාර්ග නොමැති ප්‍රදේශ ද නැතුවාම නොවෙයි.

මේ කතාව ලියවෙන්නේ ඔබත් මමත් දැක නැති මිනී කරත්තයක් පිළිබදව මෙන් ම වෙනස්ම අයුරකට සැකසී තිබෙණ ශ්‍රී ලංකාවේ සොහොන් බිමක් පිළිබදවයි.ඕලන්ද කාලයේ පැවති බලකොටුවක් ලෙස සැලකෙන මාතලේ මැක්ඩොල් බලකොටුව නොහොත් වර්තමාන මාතලේ පොදු සුසාන භූමිය තුළ අවුරුදු 150කටත් වඩා ඈත ඉතිහාසයකට දිවයන ඉතා පැරණි මිනී කරත්තයක් ඇති අතර අදටත් එය හොදින් ක්‍රියාකරනු ලබයි.

කෙසේ නමුත් අවසන් වරට මෙම කරත්තයෙන් මිනියක් ප්‍රවාහනය කර ඇත්තේ මීට වසර 20ට පමණ පෙර වන අතර එය වසර 50කට පසුව ප්‍රවාහනය කරන ලද එකම මිනිය ලෙසයි පැවසෙන්නේ.මේ පිළිබදව වැඩිදුර තොරතුරුවිමසීම සදහා අප විසින් සම්බන්ධ කරගනු ලැබුවා මාතලේ පොදු සුසාන භූමියේ රාජකාරි කරන ඩබ්.පී.රොහාන් නිශ්ශංක විජේසේන මහතාව.

එහිදී ඔවුන් සඳහන් කළේ මෙම සුසාන භූමියේ තිබෙණ විශේෂත්වයක් වන්නේ එය කුරුසයක හැඩයකට නිර්මාණය කර තිබීමයි.මේ වන විට මාතලේ පොදු සුසාන භූමියේ දක්නට ඇති මෙම මිනි කරත්තය භාවිත කර තිබෙන්නේ ද සුසාන භූමියට පිවිසෙන ස්ථානයේ සිට මිනි වල අසලට මිනිය රැගෙන යාම සදහා බවයි පැවසෙන්නේ.

එමෙන්ම මෙම සුසාන භූමියේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙය කොටස් නවයකට බෙදා සකස් කර තිබීම.එම කොටස් පෙන්තකොස්ත, ඇන්ක්ලින් (එංගලනත සභාව), ඩජ්,රෝමන්රෝමන් කැතලික් ,බැප්ටිස්ට් ,හින්දු, මුස්ලිම්,බෞද්ධ ෂැල්වේෂන් ආමි වශයෙන් නම් කර ඇත.ඒ අනුව පෙනී යන්නේ එකල දී මෙරට තුළ පැවති සෑම ආගමක් ජාතියකටම මෙම සුසාන භූමිය තුළ ඉඩක් වෙන්ව තිබූ බවයි.

මෙම සුසාන භූමියේ සමස්ත භූමි ප්‍රමාණය අක්කර 17 රූඩ් 02ක් ලෙසයි සැලකෙන්නේ. එමෙන් ම මෙම සුසාන භූමියේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වාම මිය යන ඕනෑම අයෙක් භූමිදාන කිරීමේ හැකියාව ලබා දී ඇති අතර මෙය සුසාන භූමි ආඥා පනතට අනුව පාලනය වන්නකි.

මෙම සුසාන භූමිය වටා පවතින බැම්ම ඕලන්ද කාලයේ නිර්මාණය කරන ලද්දක් බවයි ඔවුන් සදහන් කරන්නේ.එයට හේතුව මෙය ඉතිහාසයේ දී ඕලන්ද බලකොටුවක් ලෙස පැවතිමයි.

ඕලන්ද හමුදාව මෙම බලකොටුව තුළ රැදී සිට ඇති බවත් පසු කාලීනව මේ රට ඉංග්‍රීසි ජාතිකයින් විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුව මෙය තුළ ඔවුන් රැදී සිටිමින් ඔවුන්ගේ මියයන සියලු දෙනා මෙම බලකොටුව තුලම භූමිදාන කිරීම නිසා මෙය සුසාන භූමියක් ලෙස පරිවර්තනය වූ බවයි ඔවුන් වැඩි දුරටත් සදහන් කළේ.

කෙසේ වෙතත් මෙහි ඇති වැදගත්ම අංගය වන මෙම මිනි කරත්තය අනාගත පරපුර සදහා සුරක්ෂා කරගැනීම අප කාගේත් යුතුකම මෙන් ම වගකීමකි.

එසේම මාතලේ කැරැල්ල සමයේ දී අපේ ජාතික වීරයන් වන ගොන්ගාලේගොඩ බණ්ඩා ,පුරන් අප්පු වැනි වීරයන් ද මෙම බලකොටුව තුළ රැදී සිට ඇති බවට සැලකේ.

මෙම මිනි කරත්තය සහ සුසාන භූමිය තුළින් ගම්‍යවන තවත් වැදගත් කරුණක් වන්නේ ආගමික සංහිදියාවයි.එයට හේතුව ජාති ආගම් භේදයකින් තොරව පොදුවේ සියලු දෙනාටම භූමිදාන කටයුතු සිදු කිරීමේ හැකියාව ඇති පරිදි කොටස් 09කට බෙදා වෙන්කර මෙය සකසා තිබීම තුළින් එය පැහැදිලි වේ.ඒ අනුව කියවෙන්නේ එකල සිටම මෙරට තුළ ජාති ආගම් භේදයකින් තොරව සියලුදෙනා එක්ව සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කර ඇති බවයි.

මෙම ලිපිය මාතලේ නගරාධිපතිවරයාගේ මෙන්ම නාගරික කොමසාරිස්වරයාගේ අවධානය යොමු වෙතැයි බලාපොරොත්තු වන අතර  මෙම ‌ෙඵතිහාසික වස්තුව රැක ගැනීම සදහා සියලුම බලධාරීන්ගේ අවධානය යොමුවෙතැයි කියාද අප බලාපොරොත්තු වෙමු.

Exit mobile version