ඕමානයේ නව නීතිය

ඕමාන් රාජකීය පොලීසිය පියවර ගෙන තිබෙන්නේ සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යය වෙත ඇතුළුවී එම වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම 2023.10.31 දින සිට අත්හිටුවීමටයි.

වාර්තා වන ආකාරයට සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට ඇතුළුවී කුමන තරාතිරමේ රැකියාවක් සඳහා වුවද, රැකියා වීසා බලපත්‍රයකට මාරුවීමට මින් ඉදිරියට කිසිඳු රටක පුද්ගලයෙකුට අවස්ථාව හිමි නොවෙනු ඇත.

මීට පෙර, සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළුවී රැකියා වීසා බලපත්‍ර බවට පරිවර්තනය කිරීම සඳහා අදාළ තානාපති කාර්යාලවලින් “විරෝධතාවක් නොමැති” බවට ලිපියක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවස්ථාව ලබාදුන් අතර, මෙම තීරණය අනුව එම අවස්ථාවද නතර කර තිබෙන අතර සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළුවූ පුද්ගලයෙකුට ඕමානයේ රැකියාවක් හිමිවූයේ නම්, එරටින් පිටවී යළි රැකියා වීසා බලපත්‍රයක් ලබාගැනීමෙන් අනතුරුව ඕමානයට ඇතුළු විය යුතු වේ.

තවදුරටත් වාර්තා වන ආකාරයට බොහෝ ශ්‍ර‍ී ලාංකිකයින් නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින්, ඕමානයේ රැකියා සඳහා යොමුවන අතර, ජාවාරම්කරුවන්ගේ වංචාවලට හසුවන ඇතැම් ශ්‍රී ලාංකිකයින් සංචාරක වීසා මගින් ඕමානය වෙත ඇතුළු වී විවිධ හිරිහැරවලට ලක්වූ අවස්ථාද පසුගිය සමයේදී වාර්තාවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා තිබේ.

ඉහත තීරණය අනුව සංචාරක වීසා මගින් ඕමානයට ගොස් රැකියාවක් ලබාගැනීමට හා රැකියා වීසා පතකට පරිවර්තනය කිරීමට කිසිඳු අවස්ථාවක් හිමි නොවන බැවින්, සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශගත නොවන ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ට දැනුම් දී තිබේ.

Exit mobile version