ඖෂධ සේවකයන් දිගටම වර්ජනයක.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයන් අඛණ්ඩ වෘත්තීය සමිති ව්‍යාපාරයක් අද (27) සිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

දිනපතා ප්‍රධාන කාර්යාලයේ සහ රත්මලාන ගබඩා සංකීර්ණයේ සියලුම සේවකයන් පෙරවරු 8 සිට සියලුම සේවාවලින් ඉවත්ව වර්ජනයේ නිරත වන බවට ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සාමුහික ගිවිසුම ප්‍රමාද වීම මෙම වර්ජනයට හේතු වී තිබේ.

ගිවිසුම ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණේ පසුගිය වසරේ (2023) ජුලි මාසයේ සිටය.

එම ගිවිසුමට අනුව සංස්ථා සේවකයන්ගේ වැටුප් වැඩි වීම පිළිබඳ ලේඛනය සකස් කර මුදල් අමාත්‍යාංශයට යොමු කළත් සාමුහික ගිවිසුම් සමාලෝචනයට තීන්දු කෙරිණි.

එම තීරණයට අනුව සමාලෝචනයෙන් පසු ගිවිසුම්වල කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුවත් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය මෙතෙක් නොලැබූ බවට එම එකමුතුව අවධාරණය කරයි.

Exit mobile version