කඩයිම අබියස වන අලියාට බිළි වූ මල් කැකුළක්.

අද (28) උදෑසන වන අලි ප්‍රහාරයකට ලක්ව හසලක, ගඟේයාය ,පහේ ඇළ ප්‍රදේශයේ සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම ප්‍රදේශය නිරන්තරයෙන් වන අලි ප්‍රහාරයන්ට ලක්වන ගම්මානයක් වන අතර එය වගාබිම්වලට සේම මිනිස් ජීවිතවලට ද විශාල තර්ජනයක් වී ඇත.

අද උදෑසන ද වයස අවුරු 16 ක් වන සිසුවියක් මෙම වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති අතර ඉන් ඇයගේ දිවි බේරා ගැනීමට හැකියාව ලැබී නොමැත.

මෙම දැරිවිය මීට දින 14කට ප්‍රථම මියගිය සිය සහෝදරයා වෙනුවෙන් දානයක් රැගෙන මව්පියන් සමග විහාරස්ථානය වෙත ගමන් කරමින් සිටිය දී මෙම ප්‍රහාරයට ගොදුරුව ඇති අතර අනතුරුව ඇය හසලක රෝහලට ඇතුළත් කළ ද එහි දී ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ අකාලයේ පරව ගියේ හසලක ගඟේයාය, පහේ ඇළ ප්‍රදේශයේ පදිංචි අනුත්තරා ඉඳුනිල් නමැති සිසුවියකි.

ඇය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා හෙට (29) දිනයේ මුහුණ දීමට සූදානමින් සිට ඇති බව සඳහන් වේ.

රාවණා සටහන.

මෙවැනි ජීවිත කොතෙකුත් මෙම අලි මිනිස් ගැටුම තුළින් විනාශයට පත්වූවා ද.නමුත් මේ වන තෙක් ඊට සුදුසු විසඳුමක් ලැබී නොමැති බව නම් මෙවැනි සිදුවීම් තුළින් මනාව තේරුම් යයි.මෙහි දී වන අලියාට හෝ මේ ජනතාවට දොස් පවරා ඵලක් නොමැත.අලියෙක් යනු තිරිසන් සතෙක්.ඔවුන් ආහාර සොයා පැමිණෙන්නේ මිනිසුන් විසින් ඔවුන්ගේ වාස භූමිය වන වනාන්තරය වැටවල් බැඳ අයිති කර ගැනීම නිසාවෙනි.

ඔවුන්ගේ විශාල උදරය යම්තාක් දුරට හෝ පුරවා ගැනීමට ආහාරයක් සොයා ඔවුන් ගම් වදින්නේ ඔවුන්ට ගැනීමට ආහාරයක් තබා සිටීමට වනයක් හෝ මේ වන විට නොමැති වී නිසාවෙනි.ඔවුන්ගේ භූමිබාගයට අයිතිවාසිකම් කියමින් ඔවුන්ට ඉන්න හිටින්න තැනක් නැතිවන තැන ඔවුන් ගම්වදින්නේ ඔවුන්ගේ අවශ්‍යතා සඳහාය.එය ද අප තේරුම් ගත යුතු කරුණකි.තවදුරටත් වන විනාශය සිදු වීම වළක්වන්නේ නම් මෙම ගැටලුව තව තවත් දරුනු වීම වළකා ගැනීමේ හැකියාව ඇති බව මෙයින් සිහිපත් කරන්නෙමු.

කෙසේ නමුත් මෙම මිනිස් ජීවිතවල වටිනාකම හඳුනාගෙන ඔවුන් රැක ගැනීමට කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගැනීම මේ වන විට අත්‍යවශ්‍යව ඇත.මෙය බලධාරීන්ගේ අවධානය පිණිසයි.

Exit mobile version