කණ්ඩුල ඇතාගේ කකුල කැඩූවේ කොයි නිළමේද?. (වීඩියෝ සහිතයි)

මහනුවර ෙඑතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් බව කියවෙන කණ්ඩුල නමැති ඇතෙකුගේ ශෝචනීය සිද්ධියක් රාවණා ලංකා මාධ්‍ය ජාලය වෙත වාර්තා වෙනවා.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අයත්  බව කියවෙන කණ්ඩුල නමැති ඇතෙකු මාලිගාවේ ඇත් පන්තියෙන් වෙන් කර අවුරුදු ගණනක් තිස්සේ සෆාරි සේවයක් සදහා යොදා තිබේ. මෙම සෆාරි සේවයේදීම මෙම ඇතාගේ  පිටුපස පාදයකටද යම් ආබාධයක් සිදුව තිබෙන  අතර මෙම අහිංසක සත්වයා ගමන් කරන්නේද නොන්ඩි ගසමින් බව ද  කිය වේ.

“නොන්ඩි” ගසමින් අමාරුවෙන්  ඇවිදින මේ අසරණ  සත්වයා විදේශිකයන් ඇතුලු  සංචාරකයන්ගේ   මනදොළ  සංසිඳවීම සදහා විවිද ගණන් යටතේ අළෙවි කරන බවද, කෑගල්ල, රන්දෙනියේ පිහිටි එලිෆන්ස් මිලේනියම් ෆවූන්ඩේෂන් නමැති ආයතනයක් මෙසේ මේ සත්වයා සෆාරි සේවයේ යොදවා තිබෙන බවද, එක්තරා දේශපාලන පක්‍ෂයකට අයත් හිටපු මන්ත්‍රීවරයෙකුට අයත් ඉඩමක මෙම සත්වයා ඇතුළු තවත් අලි ඇතුන් කිහිප දෙනෙකුම සිටින බවද කරුණු සහිතව සැල වන අතර එම මන්ත්‍රීවරයාගේ පියා මිය ගොස් තිබෙන්නේද අලියෙකුගේ පහරදීමකින් බව කිය වේ. තවද මේ ඇතා නිසා පින්නවල සෆාරි වල නිරතවන සංචාරක මාර්ගෝපදේශකයන්ගේ ආදායමද ඉතාම පහල ගොස් තිබෙන බවද වාර්තා වේ.

කෑගල්ල රන්දෙනියේ කණ්ඩුල නැමති ඇතා සමග තවත් අලි ඇතුන් රදවා තිබෙන ඉඩමේ පිහිටි නිවස.

මෙම කණ්ඩුල නැමති දළදා මාලිගාවේ ඇත් පංතියට අයත් බැව් කියවෙන මේ ඇතා නෑවීම, පිටේ යාම, අත ගෑම  වැනි දේ වෙනුවෙන් විශාල වශයෙන් මුදල් අය කරන බවද කිය වේ. මාලිගාවේ ඇත් පන්තියට අයත් මෙවැනි සතෙකු මෙසේ තැරව් කරුවන්ට මුදල්  සෙවීමේ ක්‍රම වලට යෙදීම නම් සැබවින්ම සිදු නොවිය යුත්තකි. මෙම ඇතාගේ කකුල කැඩී ඇති බව පවසන ස්ථානය මතම දම්වැල් යොදා තිබෙන බවද දක්නට තිබේ. අබාධිත සත්වයෙකු මෙසේ සෆාරි වලට යෙදීම පිලිබදව සත්ව සංවිධාන සහ අලි ඇතුන් පිලිබදව සොයා බලන සංවිධාන සොයා බලනු ඇති බවටද අප විශ්වාස කරමු. අපට  හමු වූ වීඩියෝ වල ඉතා කුඩා කොටසක් පමණක් මෙහි පළකර ඇත.

මෙම ඇතාගේ කකුල කැඩී ඇති බව පැවසෙන ස්ථානය

මේ අබාධිත සත්වයා දළදා මාලිගාවේ ඇත් පංතියට අයත් නම් ඒ පිලිබදව වග කිව යුත්තේ දළදා මාලිගාවේ ගිහි භාරකරු වන දියවඩන නිළමේ ලෙස කටයුතු කරන  වනිගසේකර වනසිංහ මුදියන්සේ රාළහාමිලාගේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි. කෙසේ වුවත් දළදා මාලිගාවට අයත් සත්වයෙකු මෙසේ මුදල් සෙවීමේ කටයුත්තකට යෙදවීම නීති විරෝදීය. එවැනි දෙයක් සිදු කිරීම සදහා අවසර ලබා දීමට බුද්ධ ශාසන කටයුතු පිලිබද කොමසාරිස්ටවත් බලයක් නැති බව අප කල විමසීමකදී දැනගන්නට ලැබිණි.  විහාර දේවාලගම් පනතට අනුව නම් මෙවැනි දේ කිසිවක් සිදු කිරීමට බලයක් නැති බව පැහැදිලිවම පෙනෙන්ට තිබේ.

කෙසේ හෝ 2005 සිට මේ වන විටත්  ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකරු ලෙස කටයුතු කරන දියවඩන නිලමේ වන ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මෙතෙක් අනාවරණය වී තිබෙන සියලු වංචා සහ දූෂණ වලට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දේශීය සහ විදේශීය සංවිධාන කිහිපයක් එකතුව පැමිණිල්ලක් කිරීමට සූදානම් වන බවද අපට තොරතුරු වාර්තා වේ.  මේ සත්වයා ශ්‍රී දළදා මාලිගාවට අයත් නොමැති සත්වයෙකු නම්, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඒ පිලිබදව යම් ප්‍රකාශයක් ලබා දෙන්නේ නම්, එය පලකිරීමටද අප බැදී සිටින බව සදහන් කරමි.  එසේම එලිෆන්ස් මිලේනියම් ෆවූන්ඩේෂන් නමැති ආයතනය ද යම් ප්‍රකාශයක් ලබා දෙන්නේ නම් අප එයද පල කිරීමට සූදානම් බවද සදහන් කරමු.

Exit mobile version