ලාංකික අපි බෞද්ධයින් ලෙස බුදු දහම ගෙන බුදුන් සරණ යමින් ආගම අදහමින් පසුවෙමු.
ඒ හා සමානව අප රටේ දෙවියන් වැඳ පුදා ගැනීමට ද ජනයා හුරුව සිටිති. දේශිීය දෙවියන් ලෙස සලකන සුමන සමන් දෙවියන් හැරුණුකොට වැඩි ප්‍රමාණයක් දෙවිවරු ඉන්දීය දේශය මුල් කරගත් අයය. එම ස්ථාන තුළ වැඩ සිටින දෙවියන් ඇදහීමටද අප රටේ ජනයා හුරුව පවතී.
මුරුගන්, කදිරා සුබ්‍රමනි, ස්කන්ද වැනි නම්වලින් ඉන්දීය බැතිමතුන් අදහන කතරගම දෙවියන් ලක්දිවට වැඩම වූයේ වල්ලිී දේවඟන හා විවාහ වීම පිණිස බව ජනප්රවාදයේ සඳහන් වේ. කප්පකන්දර නදිය (මැණික්ගඟ) අසළ දේව විමානය ඉදිවීම නිසා කතරගම දෙවියන් ලෙස කඳ කුමරුවන් අදහනු ලබයි.
බුදුන්ට පළමු තැනත් කතරගම දෙවියන්ට දෙවැනි තැනත් ලබා දෙන ලාංකීය ජනසමාජයේ හේන් කුඹුරු කරන ගොවීහු තම භවභෝගවලින් කොටසක් කතරගම දෙවියන්ට පූජා කරති.
අලුත් වාහනයක් ගන්නා ජනයා පළමුව පොල් මලක් ගසා ගෙනවිත් කතරගමට පඬුරු ගැටගසා දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරගනු ලබති.
කතරගම දෙවියන් වෙනුවෙන් ලංකාවේ හා ඉන්දියාවේ ප්‍රධාන දේවාල 07ක් පවතී. කතරගම දෙවියන්ට අයත් ලංකාවේ ඓතිහාසික ප්‍රධාන පුදබිම වන්නේ කතරගම පුදබිමයි. මුහුණු සයට අයත් වන දේවාලයක් (06) හයක් ඉන්දියාවේ පවතී. මෙම සෑම දේවාලයක්ම මුල් කරගෙන කතරගම දෙවියන් හා බැඳුණු ජනප්‍රවාද රැසක් පවතී.
මෙහි දැක්වෙනුයේ උතුම් කඳ දෙවියන් නමින් ලොව පුරා ඇති දේවාලයන් සම්බන්ධව ඇති ප්‍රධාන කෝවිල් 07 පිළිබඳවයි.
ශ්‍රී ලංකාව තුළ ඇති සිද්ධස්ථාන
ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් ඇති සීමා දෙකටම ළංව කතරගම පුදබිම පිහිටා තිබේ.
අප රට එක්සේසත් කළ දුටුගැමුණු මහා රජතුමා විසින් එළාර රජතුමා සමඟ යුද්ධයට යන අවස්ථාවේ දී දුටුගැමුණු මහා රජතුමා කඳ කුමරුවන් මුණ ගැසී යුද්ධයෙන් දිනවා දෙන ලෙස බාරයක් විය. යුද්ධය දිනූ පසුව දුටුගැමුණු රජතුමා කතරගම දෙවියන් වැඩසිටි කන්දේ දී මුණ ගැසී උතුම් කතරගම දෙවියන් වෙනුවෙන් දේව මාළිගාවක් සාදවාදීම සඳහා පූජා කිරීමට ස්ථානයක් පෙන්වා දෙන ලෙස බැගෑපත්ව ඉල්ලීමක් කරනු ලැබීය.
ඒ අනුව කඳ කුමරුන් ඊතලයක් විද එම ඊතලය වැටුණු ස්ථානයේ දේවාලය සාදවන ලෙස රජුට අණ කළෙය. ඒ අනුව දුටුගැමුණු මහරජතුමා ඉන්දියාවෙන් මුනිවරයින් ගෙන්වා ගෙන දෙවියන්ට පුද පූජා පවත්වන ක්‍රම පුහුණු කර දේවාලයේ පැවැත්ම සඳහා රාජකාරිකරුවන් 552 දෙනෙකු පත්කර උසස් කුලවලින් එන බස්නායක නිලය හා දෙවියන්ගේ පුද පූජා පැවැත්වීමට උසස් කුලවලට අයත් කපු පරපුරක්ද පත්කරනු ලැබීය.
මෙම පිරිසට ජීවත් වීම සඳහාත් දේවාලයේ පැවැත්ම සඳහාත් රජුට අයත් ගොඩ මඩ ඉඩම් අක්කර 99000 දේවාලයට පූජා කර ඉර හඳ පවතින තුරා දේවාලයේ පූජාවන් සිදු කරන ලෙස රාජ අණක් ද නිකුත් කරනු ලැබීය.
එදා සිට අදත් කතරගම දේවාලයේ පුදපූජා පවත්වන්නේ කතරගම දෙවියන්ට සත්කාර කිරීම සඳහායි.
පළමුව බුදුන්ද දෙවනුව කතරගම දෙවියන් ද මුල්කරගෙන අපේ රටේ ජනයා කතරගම දෙවියන් අදහති.
සිය කුඹුරේ මුල් අස්වැන්න බුදුනට පූජා කර දෙවනුව කතරගම දෙවියන්ට දේව දානය පිළියෙල කර පුද පූජා තබන අපේ රටේ ජනයා සිය අලුත් වාහනයක් ගත් විට පොල් මලක් ගසාගෙන ප්‍රථමයෙන් කතරගම පුදබිමට පැමිණීම සිදුවේ.
කතරගම දෙවියන් වෙනුවෙන් වසරකට පෙරහර මංගල්‍යයක් සිදු කරමින් අතීත සම්ප්‍රදායන් චාරිත්‍ර අකුරටම ඉටු කරමින් ලංකාවේ කතරගම දෙවියන්ට නම් කර ඇති ප්‍රධානම දේවාලය ලෙස කතරගම පුදබිම නම් කළ හැකිය.
ශ්‍රී ලංකාවේ රජවරුන් වැඳුම් පිදුම් කළ කතරගම දෙවියන්ට අයත් ප්‍රාදේශීය දේවාල
- බදුල්ල කතරගම දේවාලය
- කොටබෝව දේවාලය
මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයේ ලේකම් කොට්ඨාසයේ මැදගම කොටබෝව දේවාලය මෙම දේවාලය කතරගම දේවාලය ලෙසද හැඳින්වේ.
- අලුත් නුවර කතරගම දේවාලය
- ඇම්බැක්ක කතරගම දේවාලය
- මහනුවර කතරගම දේවාලය
- වතුගාගොඩ කතරගම දේවාලය
- කෑගල්ල කතරගම දේවාලය
- පානම ඔකඳ කතරගම දේවාලය
- ගොඩකවෙල අමිමඩුව කතරගම දේවාලය
- ගණේගොඩ කතරගම දේවාලය
කතරගම දෙවියන්ට අයත් ඉන්දියාවේ ඇති පෞරාණික කෝවිල්
- තිරුතන්තී
මෙම කෝවිල විශේෂ ගල්වලින් නිමවා ඇති අපූරු ස්ථානයකි. කඳ කුමරුන් වල්ලි දෙවඟන ලක්බිමෙන් භාරත දේශයට රැගෙන ගොස් කඳ කුමරුන්ගේ ඥාතීන්ට අලුත් ලාංකීය බිරිඳ පෙන්වූ ස්ථානය ලෙස මෙම ස්ථානය හැඳින්වේ. මෙම ස්ථානයේද දෛනිකව පූජා 3ක් පැවැත්වේ.
- තිරිචන්දූර්
මෙම කෝවිල ඉන්දියාවේ තූත්තුක්කුඩි පළාතේ තිරුත්තන්දූර් නගරයේ මුහුද අසළ පිහිටි කෝවිලකි. කඳ කුමරුන්ගේ ඉන්දීය බිරිඳ තේවානි අම්මා විවාහ කරගත් ස්ථානය ලෙස මෙම ස්ථානය හින්දුන් අදහන අතර මෙම ස්ථානයද වැඳ පුදා ගැනීමට බොහෝ පිරිසක් නිතර පැමිණීම සිදුවේ.
කදිරමලේ කන්ද
මෙම කෝවිල ඉන්දියාවේ මාදුරේ පිහිටා ඇත. උස් කඳු මුදුනක පිහිටි මෙම කෝවිල කඳ කුමරුන් වෙනුවෙන් පිහිටි 3 වැනි පුදබිමකි. මුනිවරුන් (සාමිවරුන්) 18 දෙනා අතරින් එක් අයෙකු කඳ කුමරුවන් දර්ශනය වේවා යැයි පතමින් උපවාසයක් සිදු කරනු ලැබීය. ස්කන්ධ ශක්ති උපවාසය ලෙස මෙය හැදින්වේ. පුරා දින 21ක් ගිය පසුව කඳ කුමරුන් මෙම මුනිවරයාට දර්ශනය වූ බව කියවේ. එම නිසා මෙම කදිරමලේ කන්ද කතරගම දෙවියන් වෙනුවෙන් පිහිටි ප්‍රධාන කෝවිලක් ලෙස ජනයා පුද පූජා කරමින් දෙවියන්ට ගෞරව පූජා සිදු කරති.
- ස්වාමිමලේ කෝවිල
මෙම කෝවිල ලොව ඇති සිද්ධස්ථාන අතරින් විශේෂයක් ගනු ලබයි. යන්ත්‍ර මන්ත්‍ර හා දේව ස්තෝත්රවලදී මුලින් භාවිත කරන ලබන ඕම් පූජා මන්ත්‍රය සම්බන්ධව කිසිවෙකු දැන නොසිටියාය. මේ සම්බන්ධව ඇති රහස දැන සිටියේ කුඩා කන්ද කුමරු පමණි.
මේ බව දැනගත් ශිව දෙවියන් තම පුත්‍රයාගෙන් මෙම ඕං කාරයේ සත්‍ය ගැන අසන ලදී. එවිට මෙම රහස මා කිසිවෙකුට නොකියන බැවින් තම පියාට පමණක් මෙම රහස පැවසීමට හැකි බව පවසා ශිව දෙවියන්ගේ කනට මුමුණා ‘ඕං කාරයේ’ රහස පවසන්නට විය. මෙම ඕං කාරය ආරම්භ වූ ස්ථානය ලෙස ස්වාමිමලේ කෝවිල හැඳින්වේ.
- පලනි මලේ
මෙම කෝවිලද ඉන්දියාවේ ඇති කතරගම දෙවියන්ට අයත් ප්‍රධාන පුදබිමකි. නාරද ඉසිවරයා අඹ ගෙඩියක් ගෙන ස්කන්ධ කුමරුන්ට හා ගණදෙවියන්ට ප්‍රධානය කරනු ලැබීය. මෙම එක් අඹ ගෙඩිය බෙදා ගැනීම සඳහා ස්කන්ධ කුමරු හා ගණදෙවියන් අතර රණ්ඩුවක් සිදුවිය. පසුව මෙම සිද්ධිය පාර්වතී මව වෙත දැන්වීය. තම පුතුන් දෙදෙනාගේ මෙම අර්බුදය විසඳීම සඳහා ශිව දෙවියන්ගේ උපදෙස් මත පාර්වතී දේවිය උපායක් යොදනු ලැබීය.
තම පුතුන් දෙදෙනා කැඳවා මෙම අඹ ගෙඩිය ලබා ගැනීමට නම් ලෝකය වටේ ගොස් ඉක්මනින් පැමිණෙන අයට මෙම අඹ ගෙඩිය ලබා දෙන බව දන්වනු ලැබීය. ස්කන්ධ කුමරු තම මොණර වාහනේ පිට නැගී ලොව වටා යෑමට පිටත් විය.
නුවණින් අධිපති ගණදෙවියන් මේ ලෝකයේ ඇති එකම සම්පත තම මව්පියන් බව වටහා ගෙන තම මව්පියන් වටා රවුමක් ගොස් ජයග්‍රහණය කරනු ලැබීය. එය අනුව ගණදෙවියන්ට අඹ ගෙඩිය හිමි විය.
තරගයට එක්ව ලොව වටා ගොස් මහන්සි වී පැමිණි කන්ද කුමරුට දැක ගැනීමට හැකි වූයේ අඹ ගෙඩිය කමින් සිටි තම සොහොයුරාය. මේ පිළිබඳව දුකක් දැනුණු ස්කන්ධ කුමරු සිය ඇඳුම් ඉවත් කර අමුඩයක් ගසාගෙන පලනි මලේ කන්දට ගොස් උපවාසයේ යෙදුණේය. ආහාර ගැනීමෙන් තොරව උපවාසයේ යෙදෙමින් ශරීරයට දුක්දෙමින් ස්කන්ධ කුමරු පලනි මලේ කන්දේ පුරා සතියක් උපවාසයේ යෙදුණේය. ස්කන්ධ ශක්ති උපවාසය ආරම්භ වූ ස්ථානය ලෙසද මෙම කෝවිල හැඳින්වේ. මෙයට අමතරව ස්කන්ධ කුමරු වෙනුවෙන් නටන කාවාඩි නැටුම ආරම්භ වූයේ මෙම පලනි කන්දේ සිට බව ඉන්දියානුවෝ සඳහන් කරති.
- සරවන පෙයිහේ (සරවන විල)
ස්කන්ධ කුමරුවන් උපත ලද සරවන විල මෙහි පිහිටා තිබේ. ඉන්දියාවේ මදුරෙයි දිස්ත්‍රික්කයේ තිරිපුරකුන්ඩම් නගරයේ මෙම විල පිහිටා ඇත. අක්කර 52ක විශාල ගල් පර්වතයක් අසල විලක් පවතී. මෙම විල කඳ කුමරුවන් උපත ලැබූ සරවන විල ලෙස භාරත ජනයා හඳුන්වයි. වසර 7500ක් තරම් පැරණි පූජනීය ස්ථානයක් බවට ඒ රට පුරාවිද්‍යා ආයතන මෙම ස්ථානය සම්බන්ධව කරුණු පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබේ. පැරණි පූජනීය ස්ථානයක් බවට හඳුන්වන මෙම ගල් තලාවේ යට ස්කන්ධ කුමරුන්ට අයත් කෝවිල පිහිටි ඇති අතර මෙහි යන අය මෙම විලේ දිය නා ගෙන ගල්ලෙන තුළ ඇති කඳකුමරුන්ගේ කුඩා කල ප්‍රතිමා ඇති කෝවිල වැඳ පුදා ගනිති.
මැලේසියාවේ ‘බතු කේව්’ කතරගම දේවාලය
කතරගම කඳ කුමරුවන් ලොව සිටින ජනයාගෙන් විශාල ප්‍රමාණයක් අදහන දෙවියකු වීම නිසා ලොව විවිධ රටවල කතරගම දෙවියන් නමින් දේවාල කෝවිල් රැසක් පවතී.
හිමාල කඳු පන්තියේද ඇති දේවාල අතර ඊෂ්වර දෙවියන්ට ප්රමුඛත්වයක් දෙන අතර ඒ හා සමානව කතරගම දෙවියන්ට ද අයත් වසර දහස් ගණනාවක් පැරණි දේවාල රැසක් ඉන්දියාවේ පවතී.
මෙයට අමතරව මැලේසියාවේද මහානුභාව සම්පන්න කතරගම දෙවියන් වෙනුවෙන් ඉදිවූ අපූරු දේවාලයක් ගෝම්බක් නගරයට ආසන්නයේ ඇති සෙලන්ගෝර් ප්‍රදේශයේ පිහිටා තිබේ. ‘බතු කේව්’ නමින් හඳුන්වන මෙම අපූරු දේවාලය වෙත දිනපතාම හින්දු ජනයා මෙන්ම විවිධ රටවලින් මැලේසියාවට යන සංචාරකයින්ද ඇතුළුව මුරුගන් දෙවියන් අදහන පිරිස් දහස් ගණනින් පැමිණෙති.
බතූ ගුහා නමින් හඳුන්වන මෙම දේවාලය කඳු පංති 10කින් වටවූ මනරම් ස්ථානයක ස්වභාව ධර්මයෙන් නිර්මාණය වූ කඳු පංතියක ගුහාවක් තුළ පිහිටා තිබේ.
මෙම දේවාලය පොළොව මට්ටමෙන් අඩි 100ක උසින් පිහිටා ඇති අතර විශාල ගල් ලෙනක් තුළ අක්කර භාගයක තැනිතලා බිමක මෙම දේවාල පිහිටා තිබේ. ගුහාවට ඉහළින් අහස හා දැවැන්ත ගස් නැමී ඇති අයුරු දිස් වෙන අතර කඳු මුදුනේ ඇති සිසිල් ජල බිංදු ජල වාෂ්ප ලෙස යන එන බැතිමතුන්ගේ ගතේ ගෑවෙනුයේ අපේ රටේ සිරිපා කඳුමුදුන වෙත ගියා මෙන්ය.
කතරගම දෙවියන් ප්‍රධාන තවත් දෙවිවරුන් රැසකගේ කෝවිල් කීපයක් මෙම ස්ථානයේ ඇති අතර කඳු පහළින් තිරුපති කෝවිලේ අනුරුවක්ද හනුමා දෙවියන් වෙනුවෙන් ඉදිකළ දේවාලයක්ද හා කතරගම දෙවියන්ගේ රන් ආලේපිත දැවැන්ත ප්රතිමාවක්ද නිර්මාණය කර තිබේ.
මෙම දේවාලය පිහිටි කඳු භූමිය පිළිබඳව අපූරු රසවත් කතා රැසක් පවතී. මෙම කඳු ආශ්‍රිතව තොම්මුවන් නමින් ගෝත්‍රික ජන කොටසක් ජීවත්ව ඇති අතර 1860 දී චීන ජාතිකයින් මෙම කන්ද තුළ එළවළු වගා කර තිබේ.
කඳ කුමරුවන් හා අසුරයින් අතර සිදු වූ යුද්ධය සිහිගැන්වීම පිණිස මුරුගන් දෙවියන් නමින් (කතරගම දෙවියන් නමින්) මෙහි දේවාලයක් කුඩාවට ඉදි වූ බව මැලේ ජාතිකයෝ පවසති. මැලේසියා ජාතිකයින් පවසන්නේ මෙම කඳු පංතිය වසර මිලියන 400ක් තරම් පැරණි බවයි.
දේවාලය ඉදිවීමෙන් පසුව ගල් ලෙනට පිවිසීමට 1920 දී ලී වලින් පඩිපෙලක් ඉදිකර ඇත. පසුව බැතිමතුන්ගේ පැමිණීම මත වැඩිදියුණු වූ පසුව ගල් පඩි 275කින් යුතුව පඩිපෙළක් ඉදිකරනු ලැබීය. 1978 දී ඇමරිකා ජාතික විලියම් හෝනාඩේ නම් බැතිමතකු විසින් මෙම ස්ථානය පිළිබඳව ගවේෂණය කර ඉතිහාසයේ වැදගත් තොරතුරු සොයා ගෙන තිබේ.
1892 දී මුලින්ම ආරම්භ වූ උත්සවය වන්නේ තයි නමින් සැමරුම් උත්සවයකි. එම පූජාව සෑම වසරකදීම ජුලි මාසයේ දී හින්දු බැතිමතුන් විසින් පවත්වනු ලබන අතර මෙම තයිපුසම් පූජාව සඳහා අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙන බව සඳහන් වේ.
මැලේසියාවේ සංචාරය කරනු ලබන ඕනෑම අයකු මෙම බටු කේව් ගුහාවට පැමිණීම අනිවාර්යය කර ගෙන තිබේ. විනාඩි 25න් මෙම ගුහාවට පිවිසීමට හැකිය.
අන්ධකාරයත් සමග හිරුගේ හිරු රැස් සමග දේවාලයෙන් දිස්වෙන පහන් ආලෝකයත් සමග මෙම අපූරු ගල්ලෙන අමුතුම සුන්දරත්වයක් ගෙන දෙමින් දෙස් විදෙස් බැතිමතුන්ගේ මෙන්ම සංචාරකයින්ගේ ආදර ගෞරවයට පාත්රවූ පුදබිමක් ලෙස ලොව පුරා ජනප්‍රිය වී තිබේ.
(තොරතුරු ලබා ගැනීම ඉන්දියාවේ සංචාරය කර මෙම සියලුම ස්ථාන වෙත ගොස් කරන ලද විමර්ශන හා හින්දු ග්රන්ථ. පූජක සාමිවරුන්ගෙන් හා ලද තොරතුරු මත.)
කතරගම කේ.ඩී. දේවප්‍රිය
මැලේසියා සහ ඉන්දියා සංචාරයෙන් පසුව