කළුතර අධිකරණ භූමියේදී සැකකරුවෙකු පළා යයි.

කළුතර අධිකරණ භූමියේදී සැකකරුවෙකු පළාගොස් ඇති බව වාර්තා වේ.

සොරකම් කිරීමේ සිද්ධියක් සහ හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් එම සැකකරුට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.

වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවෙකු අලුත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ භූමියට රැගෙනවිත් තිබූ අතර ඔහු මෙලෙස පළාගොස් ඇති බව වාර්තා වෙයි.

පොලිස් ජීප් රථයෙන් සැකකරු අධිකරණ භූමියට රැගෙන විත් එහි දොර විවෘත කරන අවස්ථාවේ ඔහු සමග විලංගු ලා සිටි අනෙක් සැකකරුගේ මුහුණට ගසා දෑත් විලංගු ගලවාගෙන එම සැකකරු මෙලෙස පළාගොස් ඇති බව සදහන්.

වැඩිදුරටත් වාර්තාවන්නේ අධිකරණ භූමියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සහ සැකකරු අධිකරණ භූමියට රැගෙන ආ නිලධාරීන් පසුපස හඹා ගියද සැකකරු ඔවුන් මගහැර පළායාමට සමත්ව ඇති බවටය.

සැකකරු සොයා අලුත්ගම පොලීසිය සහ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සදහන්.

Exit mobile version