කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු අද (18) මියගොස් ඇති බවට කළුතර උතුර පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර, මෝදරවිල ප්රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයකු බවට පොලීසිය සඳහන් කර තිබේ.
මියගොස් ඇති සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 14 දා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, එහි වාට්ටු අංක 3හි නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් රෝහල් ප්රකාශකයෙක් පවසා තිබේ.
මියගොස් ඇති රැඳවියා පසුගිය 9 දා හෙරෝයින් මත්කුඩු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි අයෙකු බවට පොලීසිය සඳහන් කළේය.
සති දෙකකට පෙර දින 4ක් තුළදී රැඳවියන් තිදෙනෙකු මියගොස් තිබූ බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
කළුතර උතුර ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශය මගින් පරීක්ෂණ පවත්වනු ලබයි.