විදුලිය අඛණ්ඩව ලබා නොදුනහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා – ජනක රත්නායක
අමාත්‍යංශ නිලධාරීන්ගෙන් බලෙන් ලියුමකට අත්සන් ඇරගෙන – අමාත්‍ය කාංචන විජේසේකර
රටේ දරුවන්ගේ විභාගයටවත් විදුලිය දෙන්න බැරි නම් ඉන් කියවෙන කරුණු කිහිපයක් අතරින් ප්‍රධානතම කරුණක් වන්නේ එම දරුවන් දේශපාලනයට සදහටම වෛර කරන බවයි. සමස්ථ පාසල් දරු පරපුරම මේ දේශපාලන ක්‍රමයට පමණක් නොව නව දේශපාලන සංස්කෘතියක් බිහිකලත් ඔවුන් එයද දකිනුයේ විහිළුවක් ලෙසය.
කෙසේ නමුත් මේ විදුලිබල සෙල්ලම නිසා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමටද දැන් අභියෝගයක් එල්ලව තිබේ. විදුලිබල අමාත්‍යංශයේ නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කර ලිපියක් අත්සන් කරගත් බව ඇමති කාංචන ප්‍රකාශ කිරීමය. නමුත් නීතියට අනුව සිද්දියට මුහුණ දුන් නිලධාරීන් දෙදෙනා කල යුතුව තිබුනේ එදිනම පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමය. නමුත් එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් කර නැත. එබැවින් එම චෝදනාව පුස්සක් බවට පත් වේ. ඇමතිවරයා එය පැමිනිලිකලද නීතියට අනුව එය පුස්සක් බවට පත් වේ.
මේ අතර මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙ සභාපති ජනක රත්නායක ඊයේ ( 28 ) එහිදී ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ පෙබරවාරි 17 වැනිදා දක්වා විදුලිය අඛණ්ඩව ලබා නොදුනහොත් ඉදිරි දින කිහිපය තුළ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එමෙන්ම පසුගිය දිනක මානව හිමිකම් කොමිසමේ පැවති සාකච්ඡාවකට සම්බන්ධ වූ විදුලු බල මණ්ඩලය , ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සහ බැංකු නිලධාරීන් සියලුම දෙනා අඩු වියදමින් විදුලිය නිපදවීම සදහා අවශ්‍ය නැප්තා සහ ෆර්නේස් අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ඛණිජ තෙල් සංස්ථාව තුළ දැනට පවතින බව සහ මෙම ද්‍රව්‍ය මිලට ගැනීමට විදුලි බල මණ්ඩලයට මුදල් හිගයක් පවතී නම් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත ගාස්තු සංශෝදනයෙන් පසු දෙමසක් තුළ අදාළ මුදල් පියවීමට පොරොන්දු වී තිබේ. සිසුන්ගේ ජීවිතය තීරණය කරන කඩයිම් විභාගයක් වන උසස් පෙළ විභාගය අතරතුර කාලයේදී අඛණ්ඩව විදුලිය ලබා දීමට එකගතාවයකට පැමිණි නමුත් අද වන විට එම තීරණය මුළුමනින්ම වෙනස් වී ඇති බව මහජන උපයෝගීතා කොමිෂමේ සභාපතිවරයා ප්‍රකාශ කරන ලදී.
මෙම උද්ගතව ඇති තත්ත්වයට වග කිව යුත්තන් වන්නේ දෙශපාලන අධිකාරිය බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගේ වැඩකට නැති , ක්‍රියාකලාපය මූලික වශයෙන් බලපාන බවද ඔහු ප්‍රකාශ කරයි. මෙම ක්‍රියාවන් නිසා අසරණ තත්ත්වයකට පත්ව ඇත්තේ අහිංසක දුවා දරුවන් බවත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සපුරාලීමට වගකිව යුතු නිලධාරීන් අපොහොසත් බවත් සභාපතිවරයා මෙහිදී සදහන් කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂමද නඩු පැවරීමට කටයුතු කරන බවට නිවේදනයක් නිකුත් කරන ලදී. දැන් ඔවුන්ට විරුද්දව නඩු දෙකක් පැවරේ. නඩු පවරන විට දරුවන්ගේ විභාගය අවසන් වනු ඇත. මේ කවුරු කවුරුත් කල යුතුව තිබුනේ අධිකරණය හරහා විදුලිබල මණ්ඩලයට එරෙහිව වාරණ නියෝගයක් ගැනීමය. ක්ෂණිකව නඩු පවරා වාරනයක්ද ලබා ගැනීමට කටයුතු සිදූ වුවහොත් පමණක් අවශ්‍ය ප්‍රතිපලයද ලැබෙනු ඇත. එසේ නොමැතිව කටයුතු සිදුවන්නේ නම් අපට පෙනෙන්නේ මෙය ඇමති කාංචන සහ ජනක රත්නායක එකට එකතුව කරන ක්‍රීඩාවක් බවයි.