ලොව බොහෝමයක් රටවල පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහ අදාහනය කිරීම සඳහා යොමු කර ඇත.
අදාළ තීරණය සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක්ම අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කිරීම්වලට යොමුකර ඇත.
ඊට හේතුවී ඇත්තේ ඉස්ලාම් දහමට අනුව එහි නියම කර ඇති පරිදි මළවුන් ආදාහනය කිරීම එම ආගමානුකූලව තහනම් බැවින් මෙම තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසට මුස්ලිම් ප්‍රජාව විසින් ඉල්ලීම් බොහොමයක් ලැබී ඇත.
කෙසේ නමුත් මෙම පසුබිම මත කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි විසින් කොවිඩ් වෛරසයට ගොදුරු වී මියයන කතෝලිකයන් ආදාහනය කිරීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බවට ෆේස්බුක් සමාජ ජාලා ඔස්සේ ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව අතර බහුල වශයෙන් හුවමාරු වන සටහනක් පසුගිය දිනවල දක්නට ලැබුණි.
එහි සඳහන්ව ඇත්තේ, “2020 මැයි 11 වැනි දින කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ප්‍රකාශ කළ පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.අපි කිසි විටෙකත් කිතුනු සිරුරු ගිනි තැබීමට ඉඩ නොදෙමු.අපට අළු අවශ්‍ය නැත.” යනුවෙනි.
මේ සම්බන්ධයෙන් අගරදගුරු පදවියේ මධ්‍ය හා සමාජ සම්බන්ධතා අංශයේ ප්‍රධානී පියතුමන්ගෙන් කරන ලද විමසීමක දී උන්වහන්සේ සඳහන් කළේ මෙය හුදෙක් පදනම් විරහිත ප්‍රකාශයක් බවයි.
එමෙන් ම 1960 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ආදාහන කටයුතු සඳහා කතෝලික සභාව අවසර ලබා දී ඇති බව ද උන්වහන්සේ පෙන්වා දී ඇත.