කාන්තා හිංසන වලට පොලිස්පතිගේ නියෝගවලට උඩින් විශේෂ කාර්ය බලකාය ගිහින්.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ එහි වැදගත්කම අප මීට පෙරද සදහන් කර තිබේ. නමුත් එම ආයතනය තුල සේවය කරන මහජනතාවගෙන් වැටුප් ලබන නිලධාරීන් කිහිප දෙනෙකුගේ නීතිවිරෝදී ක්‍රියාකාරකම් හේතුවෙන් එම වැදගත් ආයතනය විනාශ වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ සියලුම ආයතන විනාශවෙමින් පවතින්නා සේ එම වටිනා ආයතනයද විනාශ වන්නේ නීතියට ගරු නොකරමින් සිදුකරනු ලබන නීතිවිරෝදී ක්‍රියාවන්ය. ජනතාවද ආදරය කරන එම ආයතනයට මිනිසුන් මේ වන විට වෛර කරන තත්වයට පත්වෙමින් තිබේ. අප දිගින් දිගටම එම ආයතනය වෙනුවෙන් ලියන්නේ එය එහි සිටින දූෂිත නිලධාරීන් කිහිපදෙනෙකුට අවශ්‍ය ලෙස විනාශ කිරීමට ඉඩ නොදිය යුතු නිසාය.

ලිංගික හිංසන යනු ආරක්ෂක අංශයක නොතිබිය යුතු දෙයකි. එහෙත් පොලිස් විශේෂ කාර්ය බළකායේ සිටි බව කියන එකම කාන්තා පොලිස් පරීක්ෂකවරිය ලිංගික හිංසන දරා ගැනීමට නොහැකි වූ තැන පොලිස් ළමා හා කාන්තා  කාර්යාංශය  වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව අප වෙත වාර්තා වී තිබේ. එස්ටීඑෆ් මානව සම්පත් කලමනාකාර ඒකකයේ ප්‍රධානියෙකු  ලෙස කටයුතු කරන පුද්ගලයෙකු මෙලෙස අයුතු යෝජනා ඉදිරිපත් කරමින් පීඩාවට පත් කර ඇති බව එම පැමිණිල්ලේ සටහන්ව තිබෙන බවද වාර්තා වේ.

 එම අයුතු යෝජනාවලට අකැමැති වූ නිසා ස්ථාන මාරු කිරීම් සිදු කර ඇති බවටත් මූල්‍ය වංචාවක් යැයි පවසා කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති බවද  පැවසේ.  එම  නිලධාරිනිය විශේෂ කාර්ය බලකා මූලස්ථානය ට තම රාජකාරි කටයුත්තකට පැමිණි විට කදවුර තුළට නොගෙන අත්සන් කිරීමේ පොත රැගෙන  උසස් නිලධාරියකු ප්‍රධාන මාර්ගයට පැමිණ ඇති බවද කියැවේ.

දෙපාර්තමේන්තුව තුළද කිසියම් අකටයුත්තක් සිදුව තිබේ නම් වගකිවයුතු උසස් නිලධාරීන් පොලිස්පතිවරයා දැනුවත් කළ යුතු නමුත් පොලිස්පතිවරයා විසින් එම බලය විනය බලධාරියා වෙත ලබා දී තිබේනම් එය ගැටළුවක් නොවේ. නමුත් විශේෂ කටයුතුවලදී පොලිස්පතිවරයා දැනුවත් කල යුතුව. කෙසේ වෙතත් මෙම  විමර්ශන ආරම්භ කිරීමට පොලිස්පතිවරයා දැනුවත් කර නැති බවද වාර්තා වෙයි.

 හිංසනයට ලක්වූ බව කියන පොලිස් පරීක්ෂකවරිය ගේ සැමියා ද පොලිස් විශේෂ කාර්ය බලකායේ  රාජකාරි කර ත්‍රස්තවාදී වෙඩි පහරට ලක්ව ආබාධිතව විශ්‍රාම සුවයෙන් සිටින අයෙකි. ඔහු ද  තම බිරිඳට සිදුවන ලිංගික හිංසන අඩත්තේට්ටම් සම්බන්ධව පොලිස්පතිවරයා දැනුවත් කිරීමට මූලස්ථානය වෙත ගිය ද අවස්ථාවක් නොලැබී ඇත. ඔහු මෙම තොරතුරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකු හට පවසා තිබෙන බව පොලිස් මූලස්ථානය ආරංචි මාර්ග පවසයි . කාන්තා හිංසනයන් සම්බන්ධව තොරතුරු පොලිස්පතිවරයාට බොහෝ වාර්තා වන බැවින් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා තිබියදී මෙවැනි සිදුවීම් නැවත නැවතත් කරළියට ඒම ඇත්ත වශයෙන්ම විහිළු සහගත ඛේදනිය තත්වයකි.  මොවුන් මේ  සිදු කරන්නේ පොලිස්පතිවරයාගේ නියෝග ද හෑල්ලූවට ලක්කර පොලිස් දෙපාර්තමේන්තුව තව දුරටත් විනාශ කිරීමය .

කෙසේ වුවත් යමක් සිදු වූ විට සියල්ලම සිදුකිරීමට පොලිස්පතිට නොහැකිය. ඒ සඳහා බලය ඇති පුද්ගලයන් එය කල යුතුය. විවිධ අංශ සදහා නිලධාරීන් පත්කර තිබෙන්නේ ඒ වෙනුවෙනි. කරුණු කාරනා කෙසේ වෙතත් විශේෂ කාර්ය බලකාය ඇතුලත පාලනය මෙසේ නම් රටේ ජනතාවට ඔවුන් සලකනු ඇත්තේ කෙසේද යන්න පැහැදිලිය.

විශේෂ සටහන – අප දිගින් දිගටම වාර්තා සිදුකිරීම් කරනුයේ නියම මාධ්‍යවාර්තාකරණයට අනුවය. මෙහි පහත රතුඅකුරින් ලියා තිබෙන ආකාරයට අප වාර්තා කරන තොරතුරුවල යම් වෙනසක්, වරදක් තිබේ නම් එය නිවැරදි කිරීමට සහ චෝදනාව එල්ලවන පුද්ගලයන්ගේ ප්‍රකාශය වලටද මෙහි ඉඩ වෙන්කර තිබේ. සාක්ෂි දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මත අප වාර්තා කිරීම කරන බව දන්වා සිටිමි.

Exit mobile version