කැස්බෑව හෝටලයේ තරුණයාගේ මරණය අනතුරකද ? ඝාතනයක්ද ?

කැස්බෑව ප්‍රදේශයේ  හෝටලයක අද (31) අලුයම අභිරහස් ලෙස  එම හෝටලයේම  මුදල් අයකැමියෙකු ලෙස සේවය කළ තරුණයෙකු මිය ගොස් ඇති පුවතක් වාර්තා විය .

මිය ගිය තරුණයා දෙනිපිටිය – වරකාපිටිය – ප්‍රදේශයේ පදිංචි රිද්ම තරංග නැමැත්තෙක් වන අතර ඔහු 26 හැවිරිදි වියේ පසු විය .මෙම තරුණයා මහල් තුනකින් යුතු හෝටලයක ඉහළ මහලේ සිට පහතට වැටී ජිවිතක්ෂයට පත් වූ බව කියයි.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ හෝටලයේ සේවයෙකු පවසා ඇත්තේ රාත්‍රී 11 පමණ හෝටලය වැසූ බවත් අලුයම 2 ට පමණ මිය ගිය තරුණයා හෝටලය  ඉදිරිපිට වැටී දගලමින් සිටි බවයි .

මිය ගිය තරුණයා පෙරේදා දිනයේ සිට රාත්‍රී කාලයේ යම්කිසි පුද්ගලයෙකු සමග දුරකතනයෙන් කතා බහ කරමින් සිටි බව සිද්ධියේ මුලික විමර්ශන වලින් හෙළි වී ඇත.එමෙන්ම තරුණයා වැටි සිටි ස්ථානයට ආසන්නව යතුරුපැදියක් පෙරලි තිබු බව වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන බව සදහන් වේ.

මෙම තරුණයා හෝටලය ඉදිරිපිට දගලමින් වැටී සිටි අවස්ථාවේ ඒ බව හෝටල් හිමිකරුට දැනුම් දුන් අතර ඔහු පැමිණ සුළු වේලාවකින් තරුණයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවද තරුණයා ජිවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ. මෙම තරුණයාගේ මරණය අනතුරක් ද නැතහොත් ඝාතනයක්ද යන්න පිළිබදව තවම පොලිස් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.  

Exit mobile version