කැසිනෝ සල්ලිත් හොරෙන්ම පිටරටට. මහා බැංකුව සුදු අලියෙක් වෙලා ගොඩක් කල්.

විද්‍යාත්මක වශයෙන් පිළිගත් නීතියක් සහ දේශපාලන සංස්කෘතියක් තිබෙන රටක් විනාශ වන්නේ නම් එයට හේතුවක් තිබිය යුතුය. එහි ප්‍රධානතම හේතුව වන්නේ එවැනි බිඳවැටීම් වැලක්වීමට අවශ්‍ය ප්‍රතිපත්තින් සැකසීමට අදාළ රටේ පාලකයන්ගේ දැනුමේ ඇති ගැටළුවය. ශ්‍රී ලංකාව එවන් රටක් බවට පත්ව තිබේ. පාලකයන් මෙන්ම පාලකයන් පත් කරගන්නා රටේ වැසියන්ගෙන්ද බහුතරයක් දූෂිතව තිබේ.

පාලකයන් දූෂිත වුවත්, පාලකයන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන රාජ්‍ය සේවයේ බලධාරීන්ද දැඩි නින්දේ නම් මෙරට මුදල් වෙනත් රටවල් වලට ගලා යාම වැලැක්වීමට නොහැක. මෙරට සූදු ක්‍රීඩා කර දිනන මුදල් පිරටවල් වලදී ගෙවන්නේ නම් එය අමුතුම කතාවකි . කැසිනෝ ක්‍රීඩාව සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ගේ මුදල් මෙරටට ලැබිය යුතු වුවත්, එම මුදල් උන්ඩියල් සහ හවාලා ක්‍රම හරහා මෙරටින් පිටවන බවට සාක්ෂි සහිතවම ඔප්පු වී තිබෙන බව පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලදී. ඒ ප්‍රේමනාත් සි දොලවත්ත මහතා විසිනි. එසේම පසු ගිය 16 දින ඔහු පොලිස් මූලස්ථානයට ද පැමිණිලි කලේය.

මෙරට දැන් පවතින්නේ දැඩි ආර්ථික ගැටළුවකය. රටට හිමිවිය යුතු කෝටි ගණනක් වන විදේශ මුදල් මෙසේ රටට අහිමිවන්නේ මෙරට සිටින ශ්‍රී ලංකික තැරව්කරුවන් නිසා බවද කිය වේ.ඒවා වැලැක්වීම සඳහා මහබැංකුව මගින් කල යුතුව තිබෙන නිසි ක්‍රියාමාර්ග ගෙන නැති බවද මෙහිදී පැහැදිලිවම දක්නට ලැබේ. විදේශ ප්‍රේෂණ බැංකු පද්ධතිය හරහා සංසරණය වීමට ඉඩ අහුරා ඒ වෙනුවට උන්ඩියල් හා හවාලා ක්‍රම භාවිතා කිරීම නිසා මෙය සිදු වේ.

එසේම ශ්‍රී ලංකාවේ කැසිනෝ සමාජ ශාලා මෙසේ කටයුතු කරන්නේ නම් එය මුදල් විසුද්ධිකරන පනත යටතේ මූල්‍ය අපරාධයකි. මෙසේ මූල්‍ය අපරාධ දිගින් දිගටම සිදුවන්නේ ශ්‍රී ලංකාවේ මහබැංකුවේ පාලක පන්තියට වැඩ බැරි නිසාය. මෙරටට ලැබෙන විදේශීය මුදල් ආරක්ෂා කරගැනීමට තරම්වත් දැනුමක් ඇති මොලගෙඩි ශ්‍රී ලංකාවේ මහා බැංකුවට නොමැති වීමේ ප්‍රතිපලය අපි අත් විදිමින් සිටින්නෙමු. මෙරට භාණ්ඩාගාරය හිස්වන තෙක්ම කිසිඳු සැලසුමක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ මහා භාණ්ඩාගාරයක නිලධාරීන්ද රටට බරකි.  ලක්ෂ ගණනින් වැටුප් සමග  සියලු සැප සම්පත් මහජන මුදලින් බුක්ති විදින අසාර්ථකම සහ දූෂිතම ආයතනය මහා බැංකුව ලෙස සටහන් කිරීම නිවරදිය. ඔවුන් තම පරිපාලනය නිසි ලෙස ඉටුකළේ නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවේ.  මෙතෙක් කල් සිදුකර තිබෙන්නේ, මහා බැංකුව සුදු අලියෙකු ලෙස නඩත්තු කිරීම පමණි.

එබැවින් දැන්වත් මහබැංකුව ප්‍රමුඛ මුදල් අමාත්‍යාංශය කල යුත්තේ මෙසේ අනාවරණය වන අකාරයටවත් තොරතුරු සොයා බලා එම මුදල් රටට ලබා ගැනීමට කටයුතු කිරීමය. එසේම ඒ ආකාරයෙන් කටයුතු කර තිබෙන සියලුම කැසිනෝ ශාලා සදහා නඩු පැවරීමද ඔවුන්ගේම වගකීමකි.  

Exit mobile version