කුරුළු අනාවැකි 

පරිසරවේදී නීතිඥ ජගත් ගුනවර්ධන මහතා විසින් සංක්‍රමණය පක්ෂීන් සහ සංසිද්ධි විද්‍යාව සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණ මුල් කරගෙන දැක්වූ අදහස් මගින් මෙම ලිපිය ලියන ලදී

රන් ඔලෙයියන් ඉපනැල්ලේ දැකීමෙන් හැගවෙන්නේ පුරන්කෙටිමේ කාලය බවයි.අළු හැලපෙන්දා අවට සැරිසරනු ලැබෙන්නේනම් සති දෙක තුනක් ඇතුලත වැසි ලැබෙන බවයි.මේ ආකාරයෙන් පාරම්පරික දැනුමේ පැවති බොහෝ දේවල් ඒ පරම්පරාව සාමාජිකයන් සමගම මැකී යෑම ඉතා කණගාටුවට කරුණකි.

අතීතයේ පටන්ම ගහකොළ සතාසිව්පාවන් දෙස බලා කාලගුණික විපර්යාස පිළිබද අනාවැකි පලකිරීමේ විශේෂ හැකියාවක් අපේ රටේ මිනිසුන් තුල පවතී.මෙය අතීතයේ වඩාත් ප්‍රයෝජනවත් වුයේ ගොවිතැනේදී.මෙය ලංකාවටම පමණක් ආවේනික වූ කරුණක් නොවේ.රට රටවලද අනාදිමත් කාලයේ සිට පැවත එන්නකි.නමුත් ලාංකීය දැණුම සුවිශේෂී වේ.ඔවුන් අතීතයේ ගොවිතැන් කටයුතු කලේ පරිසරය පිළිබද විමසුම් ඇසකින් වීම මෙයට හේතුවකි.නමුත් වර්තමානය වනවිට මෙය විද්‍යාත්මක නොවන බව පවසා බැහැර කර ඇත.

මේ පාරම්පරික ඥානය ඉවහල් කරගෙන දැනුම වැඩිදියුණු කරගැනීමටත් නව නිරීක්ෂණ මගින් දැනුම වැඩිදියුණු කරගැනීමටත් ඇමරිකා එක්සත් ජනපදය ජාතික මෙන්ම ප්‍රාදේශීය මට්ටමෙන්ද විශාල උත්සහයක් දරයි නමුත් ලංකාව තුල තවමත් එයට උවමනාවක් නොමැති ලකුණු පෙනේ.

කෙසේ වෙතත් මේ කරුණු බැහැර කල යුතු නැති අතර ඒවා ඉතා ප්‍රයෝජනවත් වැදගත් කරුණුය.

සැප්තැම්බර් මාසයේ මැද ලංකාවට සංක්‍රමණය වන පක්ෂියෙක් වන අළු හැලපෙන්දා අවට පරිසරයේ දකින්නට ලැබෙන විට සති දෙක තුනකින් වැසි ලැබෙන අතර එය සනාථ කරමින් අනිවාර්යෙන්ම සති දෙක තුනකින් වැසි ලැබෙයි.එසේම රන් ඔලෙයියන් ඉපනැල්ලේ මැද  දකින්න ලැබෙන්නේ පුරන් කෙටීමේ කාලයේදීය.ස්වරුපයෙන් සමාන වුනත් රන් ඔලෙයියන් හා කැස්වටුවන් වර්ග දෙකකි.මේ නිසා සමහර ගොවින් කැස්වටුවන් ඉපනැල්ලේ මැද  සිටින විට වැස්ස ලග එන බව පැවසුවත් එම මතය සත්‍ය වුයේ රන් ඔලෙයියන් සම්බන්ධයෙනි.සාමාන්‍යයෙන් මේ පක්ෂීන් පැමිණෙන්නේ සැප්තැම්බර් මාසයේ මැද වන අතර ඇතම් වර්ෂ වල සැප්තැම්බර් මුල හෝ තරමක් පසුව පැමිණේන අවස්ථා ඇත.කෙසේ නමුත් මේ සංක්‍රමණය වන කාලයත් සමග වර්ෂාව බොහෝ විට සමපාත වේ.

වැහිලිහිණියන් විශේෂ කිහිපයක් සිටියත් අපේ ජනප්‍රවාදයේ වැස්ස රැගෙන එන බවට සදහන් වන්නේ  “Barn Swallow”නැමති වැහිලිහිණියාය.මොහු පැමිණෙන්නේ සංවහන සුළන්ධාරා අවසන් වන නැතහොත් මෝසම් වැසි ආරම්භ වන කාලයේදීය.ඒම නිසා වියලි කලාපය සම්බන්ධයෙන් බොහෝ දුරට සනාථ වේ.ග්‍රාමීය මෙන්ම නාගරිකව සිදුකරන අධ්‍යනයනයෙන් පෙනී යන්නේද වැහිලිහිණියා අහසේ පියාසර කිරීම වැස්ස ලග එන බවට පැහැදිලි සංකේතයක් බවයි.දිවයිනට පැමිණෙන මේ වැහිලිහිණියා නැවත යනවිට පිහාටු හලා අලුත් පිහාටු ලබාගෙන යාමත් විශේෂත්වයකි. පිහාටු හැලීම  කලින් සිදුවුවහොත් නික්මීම ප්‍රමාධ වේ.නික්මීම කලින් සිදුවුවතොත් වැසි කලින් ලැබේ.මෙකි සම්බන්ධතාවය රන් ඔලෙයියාගෙන්ද පුංචි වැලි ඔලෙයියාගෙන්ද දැකිය හැක. පුංචි වැලි ඔලෙයියා ගිම්හාන සෘතු වර්ණය කලින් ලබාගන්නේනම් ඉදිරියට එන්නේ පෑවිල්ලකි.ඒ හැරුණු විට කහ හැලම්පෙන්දා සහ වන හැලම්පෙන්දා ද නිල් කුරුමිණි කුරුල්ලාද පැමිණේන්නේ වැස්ස සමගය.

තුරිත විශේෂ 5 ලංකාවේ හමුවන අතර එයින් 3 සම්බන්ධයෙන් වියලි කලාපයේ ගොවින් පවසන ආකාරයට මන්දාරම් අහසේ දැකිය හැකි බවට පැහැදිලිය.කැදලි තුරිතයා,කළු තුරිතයා,මහ තුරිතයා සැරිසරන්නේ ඉහල අහ්සේය.වර්ෂාව කිට්ටු විමත් සමග පහලට පැමිණේ.මේ බව දකින ගොවියන් වැඩ නවතා නිවෙස් බලා යාමට සැරසේ.ලංකාවට ඔක්තෝබර් මාසයේ පමණ පැමිණෙන දුඹුරු මාරාවා ගැන ජනවහරේ සදහන් නොවේ.මේ පක්ෂියා සාමාන්‍යයෙන් ලංකාවේ සිටින කාලයේ උදෑසන හා හවස නාද කරයි.අතරමැද කාලයක නාද කරොත් පැය භාගයක් ඇතුලත වැස්ස ඇදහැලේ.එසේම මයිනා කලබලයෙන් කන්කලු නාදයට වෙනස් වූ ශබ්දයක් නගන්නේනම් දෙපයැක් ඇතුලත වැස්ස ඇදහැලේ.එසේම කළු කුඹින් නිවසට බිත්තර රැගෙන එන්නේනම්,දිමිගොටු කලබලේ පිළිසකර කරන්නේනම් වැස්ස ලගම පැමිණිම ගැමියන්ගේ මතයයි.

අව්වැසි පිළිබඳ අනාවැකි පලකරන පක්ෂීන් හැරුණු විට මත්ස්‍යයින්ද සිටි.කාවයියා සහ කන්‍යා වැස්ස ඇතිවීමට පෙර වෙනස් හා කලබලකාරී හැසිරීමක් පෙන්වයි.බත්කුරා සංක්‍රමණය වන්නේද වැසි සමය ඉලක්ක කරගෙනය.

පාරම්පරික දැනුමේ පැවති මෙවන් බොහෝ කරුණු කාරනා ඒ පරම්පරාවේ සාමාජිකයන් සමගම වියැකී යාම කණගාටුවට කරුණකි.අතීතයේ ගොවිතැන් කටයුතු සිදු කලේ කෘෂි රසායනික ද්‍රව්‍ය මගින් නොව පාරම්පරික දැනුමෙන් සොබාදහමේ ගති ලකුණු අනුවය.හෙළ ගොවියා සතුන්ගේ හැසිරීමෙන් පුරන්කොටන කාලය හදුනාගන්නා ලදී.ගහකොළ මල් වලින් ඊලග කාලය හදුනාගන්නා ලදී,මෙ සියල්ලම වැඩිහිටි පරම්පරාව අවසානයත් සමග මැකී යයි.කෙසේ නමුත් මේවා අභාවයට යන්න නොදී රැකගතයුතුය.එසේම මේවා වැඩිදියුණු කරගත යුතුය.

(මෙය උපුටාගැනිමකි. මතුපරපුරට දැනගැනීම පිණිස මෙහි පලකරන ලදී. මෙම ලිපියේ හිමිකරුවා කවුරුන්ද යන්න නොදන්නා නමුත් මෙහි අඩංගු කරුණු සත්‍ය වේ. ලිපියේ ගරුත්වය මුල් හිමිකරුට හිමිවිය යුතුය.)

Exit mobile version