රටේ ව්‍යාපාරිකයන් පවා බදු ගෙවාගෙන තම සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකිව සිටියදී, දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙද්දී, බහුතරයක් ජනතාව කුස ගින්නේ සිටියදී බදු වැඩිකර වැටුප් වැඩිකරන ලෙස රාජ්‍ය සේවකයන් අද දීපව්‍යාප්තව උද්ඝෝෂණයේ නියැලෙයි.
ලංකාවේ රාජ්‍ය සේවකයන් සිටිය යුත්තේ 300 කට එකක් වුවත් මේ වන විට එය 10 කට එකකටත් අඩු හෝ වැඩි ලෙස පවතී. චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩු පවා සිදුකළේ මෙරට නිෂ්පාදන ආර්තිකය බිදවැටෙන ලෙස තම පක්ෂ ප්‍රවර්ධනය වෙනුවෙන් රාජ්‍ය සේවයට පුරවැසියන් බඳවා ගැනීමයි. කිසිදු තරග විභාගයක් නොපවත්වා, දේශපාලඥයාගේ නිවසේ වළං හේදු, ඔහුගේ පෝස්ටර් ගැසූ පුද්ගලයන් රාජ්‍ය සේවයට බදවා ගත්තේය. ඔවුන්ට අඩුම තරමේ රාජ්‍ය සේවයේ වටිනාකම, රාජ්‍ය පරිපාලන ව්‍යුහයවත් ඉගැන්වීමට අවශ්‍ය පරිසරයක් හෝ දැනුමක් නොතිබුණි.
ඒ කෙසේ වෙතත් අද වන විට සාමාන්‍ය රාජ්‍ය සේවකයන් කුස ගින්නේ සිටිති. ඒ ලැබෙන වැටුප මදි බැවිනි. නමුත් මාණ්ඩලික ශ්‍රේණියට එවන් පසුබිමක් නිර්මාණය වී නැත. රාජ්‍ය සේවකයන්ට මෙවර අයවැයෙන් රුපියල් 20,000.00 ක වැටුප් වැඩි වීමක් ඉල්ලා අද (30) දිවයින පුරා මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබේ.
ඔවුන් උද්ඝෝෂණ කළ යුත්තේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා නොවේ. එසේ ඉල්ලීමෙන් එය පාලකයන්ට තව තවත් බදු ගැසීමට ලෙහෙසියෙන් කරගත හැකිය. කළ යුත්තේ බදු මිල අඩුකරනු යන තේමාවෙන් අඩු විය යුතු මිල ගණන් පෙන්වා උද්ඝෝෂණ වල නිරතවීමයි. වැටුප් වැඩි කිරීමෙන් තව තවත් හිරවෙන්නේ මෙරට සාමාන්‍ය ජනතාව සහ රාජ්‍ය සේවකයන්ම බව සිතීමටවත් රාජ්‍ය සේවකයන්ට දැනුමක් නැතිකම රටේ සියලුම ප්‍රශ්නවලට තවත් හෙතුවකි.