කුසල් ඔයා ගෙදර ගිහින් මේ ටීචර්ට බැට් එක දෙන්න – ක්‍රිකට් ලෝලීන්

මහා මිනිස් ආදරයක, කැපකිරීමක අගනා ආදර්ශයක් අපට කියා දෙන්නේ සත්‍ය කතාවකින් ගොඩ නැගුනු දුයිෂෙන්ගේ ආදරය ලැබූ අල්තිනයිගේ ගුරු ගීතයයි. එවැනි ගුරුවරුන් දහස් ගානක් මේ මව් බිම තුල නැතුවාම නොවේ. මේ සටහන ලියන්නට සිදු වුයේ මොනරාගල නගරයේ සිට කිලෝ මීටර් 8 ක් පමණ දුරින් පිහිටි දරුවන් 93 ක් ඉගෙන්න ගන්නා මොනරාගල විහාරගල ප්‍රථමික විද්‍යලයේ 5 වසර දරුවන් සමග ක්‍රිකට් සෙල්ලම් කරපු ගුරුවරියක් නිසාය. එම පාසලේ ගුරුවරු ගුරුවරියන් සිටින්නේ 7 දෙනෙකි.  


ගොවිකම හැර අන්කිසි දෙයක් නොදත් අකුරු සාස්තරයක් උගන්වන  ඉස්කෝලයක් හෝ නොදත් සෝවියට් සමූහාණ්ඩුවේ ඈත පිටිසර කීර්ගීසයේ අතිශය ග්‍රාම්‍ය පෙදෙසක් වූ ගම්බද පරිපාලන ඒකකයක් වන (අයිලය) ප්‍රදේශය මුල් කරගෙන ලියවෙන ගුරු ගීතයට පන පොවන සැබෑ ශ්‍රී ලාංකික ගුරුවර ගුරුවරියන්ද ඕනා තරම් සිටිති. එවැනි ගුරුවරුන් නිර්මාණය වන්නේ තවත් එවැනිම ගුරුවරයෙකුගෙනි. එදා සෝවියට් සමූහාණ්ඩුවේ අන්ත දුගී දුප්පත් ප්‍රදේශයකට ඉගැන්වීම පිළිබඳ පශ්චාත් උපාධි නැති, සම්පූර්ණයෙන්ම අකුරු දන්නේද නැති විය හැකි, දුයිසෙන් තරුණයා ගමට පැමිණෙන විට මේ අල්තිනයි පුංචි කෙල්ලට වයස අවුරුදු 14 කි. ඇය එවිට නව යොවුන් තරුණියකි.

තම තරුණ පරම්පරාවන් විසින් උරුමකර දුන් ඒ ග්‍රාමය ඉරණම එනම් ඉපදී ගේ දොර වැඩකොට ගොවිතැන් වලට උදව් වී ඉතා අඩු වයසින් වීවාහ වී දරු මල්ලන් හදා වඩා අතිවිශාල ශ්‍රමික ජීවිතයක් විඳ එම පොළොවටම දියවී යන ඈත පිටිසර රුසියානු ස්ත්‍රීන් එකල දැකිය හැකි සාමාන්‍ය තත්වයයි. ශ්‍රී ලංකාවේ මොනරාගල අම්පාර ප්‍රදේශ තිබෙන බොහෝ ජීවිතද එසේමය. එහෙත් නගරය සේ නොවේ. ඔවුන් සතුටින් ජීවත්ව එතී. ඒ ගම්වැසි අව්‍යාජත්වය ඔවුන් සතුටින් ජීවත් කරවයි.  මේ සටහන තබන මොහොතේ රුසියාව – බිය කරු වෙමින් යුක්රේනයට පහර දෙමින් සිටිති. ගුරුවරුන් කවුරුන්දැයි ලොවට කියා දුන් රුසියාව අද ලෝකයෙන්ම කොන් වෙමින් සිටිති.

 ගමේ සිටි කාගේත් හව්හරණක් නොමැති අනාථ දැරියක් වූ අල්තිනායි පසුකලෙක මුළු කුර්කුරේව ප්‍රදේශයම බැබලවූ  අල්තිනායි සුලෙයිමානවා නම් වූ මහාචාර්යවරිය වන්නේද, ළමයි කවුදැයි හදුනා ගත් දුයිෂෙන් නම් වූ ගුරුවරයාගේ ආදරය, කැපවීම, නිවැරදි මගපෙන්වීම මත අල්තිනායිට අයිලයෙන් නොහොත් තමන්ගේ ගමෙන් එපිට වූ අලූත් ලෝකයක් විවර කර දීමට සමත් වූ නිසාය.

දුයිෂෙන්ට ආදරයත්  ගුරුකමෙත් වෙනස වඩා හොඳින් තේරුනා වගේම දුයිෂෙන් තරුණයා ඇත්තෙන්ම  ඇයට බොහෝ සේ ආලය කළේය. නමුත් එය අප්‍රකාශිත ආලයක් නොහොත්, ඒ අදහස කිසිකලෙක පිටට මතු නොවූ  අල්තිනායිගේ ගමන් මඟ ශක්තිමත් කළ අදෘෂමාන ශක්තියක් විය. අල්තිනායි ද මේ පුදුමාකාර අධිෂ්ඨානශීලි මිනිසාට ආලයෙන් බැදෙයි. විටෙක තම නැන්දනියගේ  අභිමතය පරිදි මුදල් කෑදරකමෙන් අල්තිනායිව පාදඩයෙකුට විවාහය සඳහා පවරා දුන් මොහොතේ ඇයව බලෙන් පැහැර ගැනීමට මැරයින් සමඟ පාසලට පැමිණි විට දුයිෂෙන් තම පාසලේ ශිෂ්‍යාවන් බේරාගැනීමට අධිෂ්ඨානශීලීව කරන සටන හා අවසානයේ රුදුරු ලෙස පහර කා ඇද වැටුණ මොහොත ගුරුවරයෙකු තුළ තිබිය යුතු පරමාදර්ශී ගුණය ගුරු ගීතය කියවන ඕනෑම කෙනෙකුට පෙන්වා දෙයි.


අවසානයේ එම පාදඩයා අතින් දූෂණය වූ අල්තිනායිගේ ජීවිතය අන්තීමටම කඩාවැටුණ මොහොතේ දී ඇයව දිරිමත්කොට එම උවදුරෙන් බේරා සෝවියට් අනුමැතිය ඇතිව උසස් අධ්‍යාපනය කරා නගරයට යැවීමට මැදහත් වන්නේ ද දුයිෂෙන් ය. ඒ ගුරුවරයාගේ වේදනාව ගීතය කියවන විට හදවතට දැනේ. එය සංවේදීය. එය වඩාත් වැදගත් වනුයේ සහ මනසට දැනෙන්නේ මෙය මනං කල්පිත වූ කතාවක් නොවුණු නිසාය.

“අල්තිනායි, දැන් උඹයි, මමයි එක වැඩක් කරමු”.යි කියා ඔහු මඳ සිනා පෑවේය. අපි මේ පැලෑටි දෙක හිටවමු. මේ පැලෑටි දෙක වැඩී ගොස් ලොකු ගස් වී, ශක්තිමත් වෙන්නා වගේම නුඹත් හැදිලා, වැඩිලා හොඳ කෙනෙකු වේවි. ඔවුන් සිටුවන ලද මෙම පොප්ලර් පැලෑටි දෙක පසුකලෙක මුළු අයිලය පුරා වැජඹෙන  කඳූ මුදුන මත දිදුලන ආදරයේ සංකේතයක් බවට පත්විය. මහා වේදනාවකින් ඔවුන්ව වෙන් වුවත් මේ ගස් දෙක තවමත් ජීවමානව තිබෙනු ඇත.

දුයිෂෙන් ඔහුගේ ආදරය සංකේතවත්  කරන්නේ එලෙසටය. අල්තිනායි තුළ ඔහු ගැන ඇතිවූ ආදරය මෙලෙස ප්‍රකාශ වෙයි. “ගුරුතුමාණනී, ඔබ විනීත ගති ඇති උත්තමයෙකි. ඔබේ ගෙල බදා සිපගැනීමට මා කැමතියි”.  ඇය තම අපිරිමිත ආදරය ගුරුතුමාට කිව නොහැකිව වේදනා විදියි. මේ වචන ඇයට කිසිකලෙක සෘජුව ප්‍රකාශ කිරීමට නොහැකි වෙයි. එය ආදරයේ හැටිය. එය කාමය නොව සැබෑම ආදරයයි. ඒ ආදරය තුල සිප වැළදගැනීම් වලට එහා ගිය දෙයක් නැත. එහෙත් අද ශ්‍රී ලංකාවෙන් අපට අසන්නට ලැබෙන්නේ කාමයේ   අඳෝනාවක් පමණි.

ඇය නගරයට ගිය පසු කිසිකලෙක දුයිෂෙන් මුණ නොගැසුනි. දුයිෂෙන් ඔහුගේ අයිලයේ කාර්ය පසෙක දා දෙවන ලෝක යුද්ධයේ රුසියාව රැකගැනීමේ යුද පෙරමුණට යයි. එහෙත් ඇය දුයිෂෙන්ට ආදරය කරන බව ලිපියක් ලියයි. එහෙත් ඇයට පිළිතුරු නොලැබෙයි. මේ ගුරුවරයා තම ශිෂ්‍යාවගේ අරමුණ වෙතට යාම හා අධ්‍යාපනයට උදව් කරන්නේ මෙතැනය. ඇයගේ අධ්‍යාපනයට බාධා නොකරයි. ගුරුවරයාගේ ගුරුකම මෙතැනදී හේ අකුරටම රකියි.

එහෙත් අප ශ්‍රී ලංකාවේ බහුතරයක් ගුරුවරු සමග සැසදුවහොත් අපට පෙනෙන්නේ සියලු දරුවන් නොමග යවන්නේ ගුරුවරුම බවයි. අද පාසල් වල හවස දෙකෙන් පසු ගුරුවරු රඳවා ගැනීමට විදුහල්පතිවරුන්ට නොහැකිය. ඔවුන් පාසල හැරුණු පසු වේගයෙන් දුවන්නේ මුදලාලි වැඩේ නොහොත් උපකාරක පන්ති කඩයටය. එයට ඔවුන්ටම දොස් තැබීමෙන්ද පලක් නැත. මන්ද තන්හාව, ආශාව නැති කරමින් ජීවත් වීම සදහා අවශ්‍ය දර්ශනය ලබා දිය යුත්තේ පාලක පන්තිය බැවිනි.
අල්තිනායි කොපමණ මහන්සි වී තම ආදරණීය ගුරුතුමාව සෙව්ව ද ඔහු මුණ නොගැසුණු එම බාධාව ඇය හද තුළ සදාකාලික පරමාදර්ශී ආදරයක් ඉතිරි කරයි.
අවසානයේ දී අල්තිනායි වෙන කෙනෙකු සමඟ විවාහ වී දරු ඵල ද ලබයි. අයිලයේ අලූතින් සාදන ලද පාසල හා නේවාසිකාගාරය දුයිෂෙන් සිහිවීම පිණිස දුයිෂෙන් ගේ පාසල නම් කරනු ලැබීය.
රුසියානු විප්ලවය ලොවට දායාද කලේ මෙවැනි පරමාදර්ශී මිනිසුන් ය.
වර්තමාන ලාංකීය පොළොව තුළ නොමැති මෙම අත්දැකීම, පෙම්වතුන් පෙම්වතියන් අත්නොදකින මෙම ජීවිතය නොමැති වීම සැබවින්ම අපට ඇත්තේ කණගාටුවක් මිස සතුටක් නොවේ. තරුණ පරපුරට නිසි දර්ශනයක් ස්ථාපනය නොවුණු මේ දේශය තුල තරුණ තරුණියන්ටද දොස් තැබීමෙන් පලක් නැත.

සැබෑ ආදරය කුමක්දැයි ලොවට පාඩම් කියා දෙන ගුරුවරු – ගුරුවරියන් ලෝකයේ සදාකාලිකවම ජීවත් වෙති. ඔවුන් සැබෑ ආලවන්තයෝය. සැබෑ ආදරයේ නාමය ලොවට කියා දුන් දුයිෂෙන් – අල්තිනායි දෙදෙනා තවමත් ජීවත් වුයේ නම් නිසැකවම ඔවුන් තවමත් අප්‍රකාශිත ආදරය තුල ජීවත් වනු ඇත. එහෙත් එය කෙතරම් පීඩාකාරීද යන්නද අලුතින් කිව යුතු නැත. ආදරය තමන්ගේම කරගන්න වෙහෙසෙන එහෙත් හෙට දිනයක් නොදකින්නට තරම් ආලය අන්ද වුවත්, අනෙකාගේ හෙට දිනය ගැන වගකීමෙන් බලන්නට, දකින්නට, හිතන්නට නම් හැදිච්ච කමක් නම් තිබිය යුතුමය.

මට මතක් වන්නේ අල්තිනායි – දුයිෂෙන්ගෙන් වෙන්ව නගරයට යන විට ඔවුන් දෙදෙනාගේ වේදනාව කෙතෙක්ද යන්න වචනයෙන්ම සදහන් වීමයි. දුයිෂෙන් – අල්තිනායි නැවත නැවත ජෙවත් කරවන්නේ මේ ක්‍රිකට් ගහන ගුරුවරිය වැනි ගුරුවරියන්ය. එවැනි ගුරු වරුන්ය. ගුරුවරයාගෙන් වෙන්ව නව ලොවක් සොයාගෙන අල්තිනායි යන්නේ මරණයට කැප වූ අයෙකු ලෙසින් මහා වේදනාවකිනි. මේ ගුරුවරිය මේ දරුවන්ගෙන් හැර යන්නට සිදු වූ දිනයක යන්නේද වේදනාවකින් වුවත් තවත් පාසලකින් ලැබෙන ආදරය හමුවේ ඇයට මේ පාසල අමතක වනු ඇත. එහෙත් මේ දරුවන්ගේ වීරයන් වන්නේද මේ ගුරුවරිය සේම මෙවන් වූ අනිත් ගුරුවරියන්‍ය.   විප්ලවයෙන් ජයගත් රුසියාව සේ ශ්‍රී ලංකාවද ආදරණීය සාහිත්‍ය සමග ගොඩ නැගීමට සුදුසු කාලය පැමිණෙමින් තිබේ.

මොනරාගල විහාරගල කණිෂ්ඨ විද්‍යාලයේ පමණක් නොව ළමයි සමග ළමයින් සේ ජීවත් වෙමින් ඔවුන්ට සැබෑ නායකත්වයක් ලබා දෙන නදීෂා හේවා වඩුගේ නමැති මේ ගුරුවරියට පමණක් නොව මේ පාසලේ විදුහල්පති ගාමිණී මහතාටත්, අනෙකුත් ගුරුවරු ගුරුවරියන්ටත් මෙන්ම  මුදල් ජීවිතය කර නොගත් , දරුවන්ට ජීවත් වීමේ මග කියා දෙන ප්‍රසිද්ධ , අප්‍රසිද්ධ  සියලු ගුරුවරු, ගුරුවරියන්ට මේ ලිපිය උපහාරයක්ම වේවා.

ශ්‍රී නිශ්ශංක මායාදුන්න.

පොදු රාජ්‍ය මණ්ඩලීය එක්සත් තරුණ සංවර්ධිතයන්ගේ සංගමයේ සාමාජික. නායකත්ව පුහුණු උපදේශක සහ දේශක. ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානයේ ජාතික සංවිධායක. විශ්‍රාමික ගුවන් හමුදා උපදේශක – බලලත් නිලදාරී

Exit mobile version