ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් අන්‍යාගමිකයන් අතර ඇති සංහිඳියාව බිඳ හෙළන ආකාරයේ දේශන පැවැත්වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් පාස්ටර් ජෙරොම් යන දේවගැතිවරයාට එරෙහිව නීති විරෝධි වත්කම් පිළිබඳ ආසන්න නොවන අධිකරණ කලාපයක නඩුව ගොනු කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (7) දැඩි සේ චෝදනා එල්ල කරමින් අවවාද කළේය.
තම අධිකරණ බල ප්‍රදේශයට අයත් නඩුවක් වෙනත් අධිකරණයකට රැගෙන ගියේ කෙසේදැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා, එය සුදුසු අධිකරණය හමුවේ ගොනු නොකරන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව විමර්ශනයක් සිදු කරන බවටද දැනුම් දුන් අතර, අධිකරණ කලාප නිසි පරිදි ගැසට් කර තිබෙන බවත් ඊට අනුකූලව කටයුතු කරන ලෙසත් මෙහිදී මහේස්ත්‍රත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දුන්නේය.
මහේස්ත්‍රාත්වරයා මෙලෙස කරුණු විමසුවේ පාස්ටර් ජෙරොම්ට එරෙහිව ගල්කිස්ස අධිකරණයේ මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව නීති විරෝධි වත්කම් සම්බන්ධයෙන් ගොනු කළ නඩුව සම්බන්ධයෙන් කරුණු දැන්වීමෙන් අනතුරුවය. එසේ ආසන්න අධිකරණ කලාපයේ නඩු ගොනු නොකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කටයුතු කරන බවත් මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් කරුණු විමසන බවත් කී මහේස්ත්‍රාත්වරයා ජෙරොම් ප්‍රනාන්දුට එරෙහි නඩුව වැඩිදුර වාර්තා සඳහා අප්‍රේල් 3 දා කැඳවන ලෙස නියෝග කළේය.
ඇප මත මුදා හැර ඇති ජෙරොම් ප්‍රනාන්දු අධිකරණයේ පෙනී සිටි අතර, ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණයට කරුණු දැක්වීය.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයට අදාළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව එසේ තමන් කැමැති අධිකරණයක් තෝරාගැනීමට හැකියාවක් නැති බව මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය. එම පැමිණිල්ල ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළේ කෙසේදැයි මහේස්ත්‍රාත්වරයා කළ විමසීමට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ ඒ විමර්ශනය වෙනත් පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන බවයි.
(දිනමිණ)