කොයි ආණ්ඩුවත් කළේ පුරාවිද්‍යාව විනාශ කරන එක – ආචාර්ය සෙනරත් දිසානායක

පසුගිය දිනක මාධ්‍යවේ දී චමුදිත සමරවික්‍රම මහතා විසින් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබූ අයුරු අපට සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි.

එහි දී පුරාවිද්‍යාවට සිදුවන විනාශකාරී බලපෑම් රාශියක් පිළිබඳව ඔහු විසින් හෙළිදරව් කරන ලදී. ඔහු පැහැදිලිව සඳහන් කරන්නේ මෙම රටේ පාලනය සඳහා කුමන ආණ්ඩුවක් පත්වුවද ඔවුන් සිදු කරන්නේ අපේ වටිනා පුරාවස්තු ආරක්ෂා කරගන්නවා වෙනුවට ඒවා විනාශ කර තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කිරීම බවයි.

පසුගිය ආණ්ඩු සමයේ දී බොහෝ අවස්ථාවලදී පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන විනාශ කර විවිධ ඉදිකිරීම් සඳහා විශාල වශයෙන් ඔහුට බලපෑම් එල්ලවී ඇති බව මෙහි දී ආචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන්  කරයි.

විශේෂයෙන් අකිල විරාජ් කාරියවසම් විසින් එක් අවස්ථාවක දී දඹුලු විහාරයේ ආදායම මධ්‍යම සංස්කෘතික අරමුදලට සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා ගැනීමට කටයුතු කරන මෙන් යෝජනාවක් ද සිදුකර ඇති අතර එහි දී එය නීති විරෝධී ක්‍රියාවක් බවට ආචාර්ය සෙනරත් දිසානායක මහතා පෙන්වා දී තිබුණි.

මෙවැනි විවිධ අවස්ථාවන්හි දී පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානයන් විනාශ කිරීමට බලපෑම් බොහෝමයක් පෙර  පැවතී ආණ්ඩු සමයේ දී ඔහුට අත්විඳින්නට සිදු වූ බව සඳහන් වේ.

එමෙන් ම මෑතක දී විවෘත කරන ලද සඳහිරු සෑය නිර්මාණය කිරීම ද රටේ ධනය නිරපරාදේ නාස්ති කිරීමක් බවත් ඉතිහාසයේ පළමු වරට මෙලෙස යුධ ජයග්‍රහණයක් සිහිපත් කිරීමට චෛත්‍යයක් ඉදිකිරීම පිළිගත නොහැකි කටයුත්තක් බවත් මෙහි දී ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

සඳහිරු සෑය ඉදි කිරීමට සූදානම් වන අවස්ථාවේ දී පවා මොහුට විවිධාකාරව බලපෑම් එල්ල වූ බව ද සඳහන් වන අතර මෙම චෛත්‍ය රාජයා නිර්මාණය කිරීම සඳහා භූමියක් තේරීමේ දී ද යම් යම් බලපෑම්වලට නතු වීමට ඔහුට සිදු වූ බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ..

අපේ රටේ ඉතිහාසය මෙන් ම එකළ පැවති ශ්‍රේෂ්ඨ නිර්මාණයන් පිළිබඳ සිහිපත් කිරීමටත් අනාගත පරපුරට ඒවා දැකබලා ඉගෙන ගැනීමටත් අපේ රටේ අතීත ශ්‍රී විභූතිය පිළිබඳව අපේ අනාගත පරපුර දැනුවත් කිරීමටත් පවතින මෙම නිධානයක් මෙන් වටිනා පෞරාණික නටඹුන් මෙසේ විනාශ කිරීමට ඉඩ ලබා දෙන පාලන ක්‍රමයක් රටකට කුමකට ද?

මෙම විනාශය දිගින් දිගටම සිදු වුවහොත් ,රටේ වටිනාකමක් නොදත්, රටේ ඉතිහාසය පිළිබඳ හැඟීමක් නොමැති , සමාජයක් සංස්කෘතියක් නොමැති රටට ජාතියට ආදරයක් නොමැති අනාගත පරපුරක් මෙරටට ඉතිරි වනු ඇත. කෙසේ වුවත් දේශපාලකයට ඕනා ලෙසම කටයුතු කිරීමට රාජ්‍ය නිලධාරීන් බැදී නැති බවද, රාජ්‍ය නිලධාරීන් ද 50% ක් මේ සිදුවන විනාශයන්ට වග කිව යුතු බවද රාවණා අප වගකීමෙන් සටහන් කර තබමු.

Exit mobile version