කොවිඩ් වැළඳුන නිසා හෘද රෝගවලට බොන බෙහෙත් නවත්වන්න එපා – විශේෂඥ වෛද්‍ය දිස්නා අමරතුංග

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් තමන්ට යම් රෝගයක් තිබේ නම් ඒ සඳහා ලබා දී තිබෙණ ඖෂධ අඛණ්ඩව නිසි ලෙස භාවිතා කිරීම ඉතාම වැදගත් කරුණක් බවයි මීගමුව මහ රෝහලේ ශෘද රෝග විශේෂඥ වෛද්‍ය දිස්නා අමරතුංග මහත්මිය සඳහන් කර ඇත්‌තේ.

කොවිඩ් වෛරසය හෘද රෝගයක් පවත්නා අයෙක්ට අසාදනය වුවහොත් ,සාමාන්‍ය අයෙකුට එයින් ඇති කරන බලපෑමට වඩා වැඩි සංකූලතාවයන් සහ මරණය පවා සිදු වීමට වැඩි ඉඩක් පවතින බවයි ඇය පෙන්වා දී ඇති අතර මෙම වෛරසය සාමාන්‍ය මිනිස් හෘදයට, හෘද ස්පන්ධන පද්ධතියට ,රුධිර වාහිනී පද්ධතියට මෙන් ම රුධිරය ආශ්‍රිතව ස්වභාවයේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරන බව ද වෛද්‍යවරිය සඳහන් කර ඇත.

එසේම මෙම වෛරසය වැළඳුණු විට සායනවලට සහභාගීවීමට නොහැකි වීම හා වෛරසය ආසාධනය වූ ඇතැම් හෘද රෝගීන්ගේ විවිධ මතිමතාන්තර හේතුකොටගෙන නියම කර ඇති ඖෂධ ලබා නොගැනීම සිදු කරයි.නමුත් ඇය පැහැදිලිවම පෙන්වා දී ඇත්තේ ඔබ හෘද රෝගයකින් පීඩා විඳින කොවිඩ් ආසාදනය වූ අයෙක් නම් අනිවාර්යෙන්ම වෛද්‍යවරුන් නියම කර ඇති ඖෂධ ඒ අයුරින් ලබා ගැනීම ඉතා වැදගත් බවයි.

ඇය තවදුරටත් පෙන්වා දී ඇත්තේ කොරෝනා වෛරසය පාලනයට ලබාදෙන ඖෂධ හේතුවෙන් ද ඇතැම් අවස්ථාවලදී සංකූලතා ඇතිවිය හැකි බවත් පවත්නා තත්ත්වය හමුවේ සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිළිපදිමින්  වෛරසයට නිරාවරණය වීමෙන් වැළකී සිටීම වැදගත් බවත් ය.

හෘද රෝගියෙක් නම් කොවිඩ් මර්දන එන්නත මාත්‍රා දෙකම ලබා ගැනීම ඉතාම වැදගත් වන අතර සක්‍රීය හෝ අක්‍රීය හෘද රෝගයකින් පෙළෙන්නන්ට කිසිසේත් කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට එය බාධාවක් නොවන බව ද ඇය පෙන්වා දුනි.

වෛද්‍යවරිය සඳහන් කළේ බයිපාස් සැත්කමක්, ස්ටෙන්ට් ප්‍රතිකාර හා හෘදය ආශ්‍රිතව සැත්කම් සිදුකළ අයෙක් වුව ද ගැටලුවකින් තොරව කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනිමේ හැකියාව පවතින අතර වෝෆරින් නමැති ඖෂධ්‍ය ලබා ගන්නා රෝගියෙක් නම් ඔබ එන්නත් ලබා ගැනීමට පෙර අයි.එන්.ආර්.පරීක්ෂණයක් සිදුකර එම අගය 03ට අඩු නම් ඔවුන්ට ද ගැටලුවකින් තොරව එන්නත ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

Exit mobile version