පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ,2019 කොරෝනා වෛරස් රෝගය පනත් කෙටුම්පත කථානායක මහින්ද යාපා මහතා විසින් සහතික කළ බවයි.
ඒ අනුව 2021 අංක 17 දරන 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්-19) (තාවකාලික විධිවිධාන) පනත පසුගිය 23 වන දා සිට බලාත්මක වෙයි.
පසුගිය අගෝස්තු මස 17 වන දා එම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
මෙහි අරමුණ වී ඇත්තේ කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් නීතිය මගින් නියම කරනු ලැබූ ඇතැම් ක්රියාවන් නියමිත කාල සීමාවක් තුළ ඉටු කිරීමට පුද්ගලයින්ට නොහැකි වූ අවස්ථාවන් සම්බන්ධයෙන් මෙන් ම කොවිඩ් තත්ත්වය නිසා යම් අධිකරණයකට එහි කටයුතු සිදුකරගෙන යාමට නොහැකි වන අවස්ථාවක දී විකල්ප අධිකරණ නියම කිරීම සඳහා ද විධිවිධාන සැලසීම මෙහි අරමුණ වේ.
එසේම, කොවිඩ් තත්ත්වයන් පාලනය කිරීමට පහසුකම් සැලැස්වීම සදහා දුරස්ථ සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් අධිකරණ කටයුතු සිදුකරගෙන යාම ද කොවිඩ් තත්වය නිසා ගිවිසුම්ගත වගකීම් ඉටුකිරීමට නොහැකි වූ ඇතැම් ගිවිසුම්වල පාර්ශවයන්ට සහන සැලසීම ඇතුළු ඒ හා සම්බන්ධ කරුණු සඳහා තාවකාලික විධි විධාන සැලසීම ද මෙම පනත මගින් සිදුවනු ඇත.